
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් මත්ද්රව්යනාශක කාර්යාංශයේ නිලධාරීන් දොළොස් දෙනා සම්බන්ධයෙන් ස්වාධීන සාක්ෂිකරුවන් හතර දෙනෙකු අද (14) කොළඹ මහෙස්ත්රාත් අධිකරණය හමුවේ රහස් ප්රකාශ ලබා දුන්හ.
ඔවුන් එසේ රහස් ප්රකාශ ලබා දුන්නේ කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවියගේ නිල මැදිරිය තුළදීය.
පැය එකහමාරකට ආසන්න කාලයක් මෙම ප්රකාශ සටහන් කළ බව අප වාර්තාකරු පැවසීය.
මෙම සාක්ෂිකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.
මොවුන් දැනට අත්අඩංගුවේ පසුවන සැකකාර පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් තොරතුරු දන්නා බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි
මේ අතර, පසුගියදා රාගමදී අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ප්රශ්න කළ මත්ද්රව්යනාශක කාර්යාංශයේ කොස්තාපල්වරයා අද කොළඹ මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.
හෙරොයින් මත්කුඩු ජාවාරමෙන් උපයා ගත් ආදායම්වලින් මෙම සැකකරු 2018 වසරේ වාහනයක් මිලදී ගෙන ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.
එම චෝදනා ප්රතික්ෂේප කරමින් කරුණු දක්වූ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවන පොලිස් පරීක්ෂකවරයෙකු විසින් කරන ලද ප්රකාශයක් මත තම සේවාදායකයා අත්අඩංගුට ගෙන ඇති බවය.
තම සේවාදායකයා වාහනයක් මිලදී ගත්තේ ඔහු විසින් ලබාගන්නා ලද ණය මුදලකින් බව නීතිඥවරයා මෙහිදී සඳහන් කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්රධාන මහෙස්ත්රාත්වරිය විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළාය.
අනතුරුව අදාළ සැකකරු ජූලි 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.
මේ අතර පොලිස් මත්ද්රව්යනාශක කාර්යාංශ ගොඩනැගිල්ල අද දිනයේදී විශේෂ කාර්යය බලකාය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිස් නිල සුනඛ අංශය විසින් පැය 05 කට අධික කාලයක් පුරා පරීක්ෂා කීරීමකට ලක් කරන ලදි.



















































