
කොවිඩ් - 19 වෛරසය ආසාදිත යැයි ඊයේ දින තහවුරු වු කුරුණෑගල කටුපොත කැකුණගොල්ල ප්‍රදේශයේ 48 හැවිරිදි කාන්තාව මීට පෙර වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වු නාත්තන්ඩිය ප්‍රදේශයේ මුස්ලිම් ජාතික පවුල සමඟ සමීප සබඳතා පවත්වා තිබේ.
එමෙන්ම කාන්තාවගේ නිවස පිහිටි මඩලැස්ස මන්සන්ධියේ සිට කැකුණගොල්ල මන්සන්ධිය දක්වා වු ප්‍රදේශයට ඇතුළුවීම සහ පිටවීම ඊයේ සිට සම්පූර්ණයෙන් තහනම් කිරීමට පොලිසිය පියවර ගත්තේය.
එමෙන්ම පසුගිය 30 වැනිදා මේ කාන්තාව රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගැනීම සඳහා පෞද්ගලික වෛද්‍යවරයෙකු හමුවිමටද ගොස් තිබේ.
අප වාර්තාකරු පැවසුවේ, ඇයගේ සැමියා සහ දරුදෙදෙනා එම නිවස තුළම ස්වයං නිරෝධායනය කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත් බවයි.
මේ අතර යාපනය අරියාලෛයි ප්‍රදේශයෙන් හමුවු අසාදිතයා සමීපව ඇසුරු කොට පලාලි නිරෝධායන කඳවුරේ සිටින 20 දෙනාගෙන් තිදෙනකුට කොවිඩ් නයින්ටීන් වැළඳී ඇති බව යාපනය ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු යාපනය ශික්ෂණ රෝහලේ, අධ්‍යක්ෂක වෛද්‍ය ටී.සත්‍යමූර්ති මෙසේ පැවසීය.
"අප ඔවුන් පරික්ෂාවට ලක්කලා. ඉන් 3 දෙනෙකුට කොවිඩ් - 19 වෛරසය අසාදනය වී ඇති බව ඊයේ තහවුරු වුණා. එම පුද්ගලයින් තිදෙනාගෙන් එක් අයෙක් ඊයේ දිනයේත් සෙසු දෙදෙනා අද දිනයේත් අපි වැලිකන්ද මුලික රෝහලට යොමුකළා. තවත් 10 දෙනෙකු පිළිබඳ අප අද පරීක්ෂණයක් කරනු ලබනවා. "





















































