
අවදානම් කලාප ලෙස නම් කළ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ අලුතින් ආසාදිතයින් 04 දෙනෙක් , ගම්පහ දිස්ත්‍රික්කයෙන් දෙදෙනෙක් , පුත්තලම දිස්ත්‍රික්කයෙන් දෙදෙනෙක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වරට ආසාදිතයෙක් වාර්තා විය.
ඒ අනුව මේ වන විට කොළඹින් ආසාදිතයන් 29 ක් , කළුතරින් ආසාදිතයන් 17 ක් , පුත්තලමෙන් 11 ක් , ගම්පහෙන් 10 ක් ආදි වශයෙන් ආසාදිතයන් හඳුනාගෙන ඇති අතර රත්නපුර , කුරුණෑගල , ගාල්ල , කෑගල්ල, මඩකලපුව , බදුල්ල , යාපනය , මාතර , මහනුවර යන දිස්ත්‍රික්කවලින්ද ආසාදිතය්න හමු වී තිබේ.
ඒ අතර ඉකුත් මාර්තු 26 වනදා හඳුනාගත් කොරෝනා ආසාදිතයින් අතර සිටි පුද්ගලයෙකු බණ්ඩාරගම අටළුගම පදිංචිකරුවකු වන අතර ඒ හේතුවෙන් අටලුගම ගම්මානය සම්පුර්ණයෙන්ම බාහිර සබඳතාවලින් හුදකලා කර තැබීමට රජය පියවර ගත්තේය.
එම ප්‍රදේශය සෞඛ්‍ය අංශවල සහ ආරක්ෂක අංශවල අධීක්ෂණය යටතේ පවතින අතර හඳුනාගත් ආසාදිත පුද්ගලයාගේ පියා සහ සහෝදරිය ද ඊයේ දිනයේම කොරෝනා වෛරසයට සැකපිට නාගොඩ රෝහලට අතුළත් කෙරුණි.
පසුව ඔවුන් දෙදෙනාද කොරෝනා ආසාදිතයින් බව තහවුරු කරගෙන තිබේ.
එමෙන්ම අටලුගම කොරෝනා ආසාදිත පුද්ගලයා සමඟ සබඳතා පැවැත්වූ බව කියන පුද්ගලයින් 26 දෙනෙකුද අලුත්ගම ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමට ඊයේ යුද හමුදාව පියවර ගත්තද ඊට අවනත නොවූ හය දෙනකු නිරෝධායනය මඟහැර තිබුණි.
බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු පසුගියදා හම්බන්තොටට පැමිණ සුචි ගම්මානයේ නිවසක කුලී පදනම මත රැදී සිටින බවට ලැබුණු තොරතුරු මත හම්බන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් අද එම නිවසට පැමිණියේය.
අනතුරුව ව්‍යාපාරික පුද්ගලයා , ඔහුගේ බිරිඳ හා දරුවන් දෙදෙනා ස්වයං නිරෝධායනයකට ලක් කළේය.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ පළමු කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයා ලෙස අකුරණ ගම්මාන තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමු වීමත් සමඟ එම ගම්මානය සම්පූර්ණයෙන්ම හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කිරීමට පියවර ගත් අතර කිසිවකුට මේ ගම්මානට ඇතුළු වීම හෝ ඉන් පිටවීම සම්පූර්ණයෙන් තහනම් වෙයි.
වෛරසය ආසාදිත පුද්ගලයාගේ පවුලේ ඥාතීන් සහ අසල්වාසීන්ද නීරෝධායනට ලක් කිරීමට පියවර ගැනුණි.
එමෙන්ම පුත්තලම, කඩයම්කුලම්හි ගම්මානයේද ජනතාව නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගත්තේ එම ප්‍රදේශයේ හඳුනා ගත් රොගියා ඇසුරුකළ ජාලය හඳුනා ගැනීමත් සමඟයි.
ඒ අනුව එම ගම්මානවල පදිංචි සියලුම පුද්ගලයින් ප්‍රදේශයේම නිරෝධායන මධ්‍යස්ථානයක් ඉදිකර ඒ වෙත යොමු කිරිමට අද යුද හමුදාව පියවර ගත්තේය.
මේ අතර බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ ඥාතී නිවසක දින කිහිපයක් රැදී සිටි බලපිටිය ප්‍රදේශයේ පදිංචි බැංකු සේවකයෙකු පිළිබඳව ලැබුණු තොරතුරකට අනුව බලපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද ඔහුගේ නිවසට පැමිණියේය.
අදාළ පුද්ගයාට සහ ඔහුගේ පවුලේ සැමට නිවෙස් තුළම දින 14ක ස්වයං නිරෝධායනයකට යොමුවන ලෙස එහිදී උපදෙස් ලබාදී තිබේ.
එසේම ඔහු සේවය කළ බලපිටිය බැංකු ශාඛාව විෂබීජහරණය කිරීම අද සිදුකරනු ලැබුවේ බලපිටිය ප්‍රාදේශිය සභාවේ සේවකයින් විසින්.
ගාල්ල දෙවට ප්‍රදේශයේ සංචාරක හෝටලයක තිබූ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි විදේශිය ජාතිකයෙකු කොරෝනා ආසාදිත බවට සැකපිට අද පෙරවරුවේ 1990 සුවසැරිය ගිලන් රථ සේවය මගින් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
මේ අතර මැදිරිගිරිය සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ අධික්ෂණ යටතේ දින 14ක් නිවස තුළ නිරෝධායනයට ලක්කර සිටි 32 හැවිරිදි තරුණයෙකු මැදිරිගිරිය මූලික රෝහලට අද පෙරවරුවේ ඇතුළත් කර තිබේ.
ඒ ඔහුට කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ ඉස්මතුවීමත් සමගයි.
ඔහු පසුගිය දින කිහිපය පුරා කොළඹ විදේශීය කම්කරුවන්ද සිටි සේවා ස්ථානයක සේවය කළ අයෙකු බවයි වාර්තා වන්නේ.
අටළුගමට ආසන්නව පිහිටි බණ්ඩාරගම ප්‍රදේශයේ නිවසක වඩුවැඩ සඳහා ගොස් නැවතත් ඔවුන් පදිංචි කිරිදිවැල ප්‍රදේශයට පැමිණ සිටින පුද්ගලයින් දෙදෙනෙකු පිළිබඳව ලැබුණු තොරතුරු අනුව කිරිදිවැල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද එම පුද්ගලයන් නිරීක්ෂණය කළේය.
ඔවුන් දෙදෙනා ඔවුන්ගේ නිවෙස් තුළදී ස්වයං නිරෝධායනයකට යොමු කිරීමට එහදී උපදෙස් ලබාදුන්නා.
එමෙන්ම ඔහුන් කිරිදිවැලට නැවත පැමිණි වකවානුවේ මැද්දේගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ආ ගිය නිවාස 5 ක සහ කිරිදිවැල නිවාස 10 ක පිරිස්ද ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.
මේ අතර රාජගිරිය අරුනෝදය මාවතේ පවුල් 25 කට අයත් පුද්ගලයන් අද කෝට්ටේ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් අද විශේෂ පරීක්ෂාවකට ලක් කළේය.
ඒ රාජගිරියේ යාච්ඥා මධ්‍යස්ථානයකින් පසුගිය මාර්තු 13 වනදා එම පවුල්වල පිරිස් සූරියවැව ප්‍රදේශයේ යාච්ඥාවකට රැගෙන ගොස් යළි පැමිණීමෙන් පසු ඉන් 6 දෙනෙකුට උණ හා සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවට ලද පැමිණිලි මතයි.





















































