
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට මෙරටින් හඳුනා ගැනුණු රෝගීන්ගෙන් දෙවැනි රෝගියාත් සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබේ.
මෙරට කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස මේ වනවිට 102ක්.
මේ අතර වෛරසය ආසාදිත බවට සැකපිට දින 14ක කාලයක් නිරෝධායනයට ලක්වු 201දෙනෙකුගෙන් යුතු පිරිසක් නිරෝධායන කාලසීමාව අවසන් කර අදත් සිය නිවෙස් වෙත පිටත් කර යැවුණි.
කොරෝනා වෛරසය ආසාදිත බවට සැකපිට පුද්ගලයින් 252 දෙනකු සහ විදේශිකයින් 03 දෙනෙකු දිවයිනේ රෝහල් 21ක වෛද්‍ය අධික්ෂණය යටතේ සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඊයේ අලුතින් හඳුනාගැණුනු නව කොරෝනා ආසාදිතයින් ගණන 05ක්.
මේ අතර දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන 45ක රඳවා සිටි පුද්ගලයන් තුන්දහසකට අධික පිරිස අතරින් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ දෙවැනි කණ්ඩායම අද සිය නිවෙස් වෙත පිටව ගියේ.
201දෙනෙකුගෙන් යුතු මෙම කණ්ඩායම ඉතාලිය හා දකුණු කොරියාව ඇතුලු රටවල් කිහිපයකින් පැමිණි අයයි.
ඒ අනුව කණ්දකාඩු මධ්‍යස්ථානයේ දින 14ක කාලයක් නිරෝධායනය වූ 144 දෙනෙක් අද උදෑසන මධ්‍යස්ථානයෙන් පිටව ගියේය.
පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය වී පිටව ගිය පිරිස 57ක්.
කොළඹ, ගාල්ල, මාතර , මහනුවර හා දඹුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම පිරිස යුදහමුදාව විසින් අදාළ ප්‍රදේශවලට රැගෙන ගොස් පොලිස් ස්ථානවලට භාර දෙනු ලබයි.
අදාළ පොලිස් ස්ථානවල මැදිහත්වීමෙන් ඔවුන් නිවෙස් වෙත භාර දීමට නියමිතයි.





















































