
මාර්තු පළමු වැනි දින සිට 15 වැනි දින දක්වා කාලය තුළ යුරෝපය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික පුද්ගලයින් ළඟම ඇති පොලිස් ස්ථානයේ වහාම ලියාපදිංචි විය යුතු බව ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී තිබේ.
තමාගේත් ප්‍රජාවගේත් යහපත උදෙසා එම කටයුතු සිදුකරන ලෙසයි එම අමාත්‍යාංශය පවසන්නේය.
119 මධ්‍යස්ථානයේ ද අදාළ පුද්ගලයින් හට ලියාපදිංචි විය හැකි අතර එම නියෝගයට පටහැනිව කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නිරෝධායන නීතිය යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේය.
මේ අතර කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය අසාදිතබව දැන එය වසන් කළ පුද්ගලයෙකු හා ඊට ආධාර අනුබල ලබාදුන් ඔහුගේ බිරිඳ පිළිබද අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
ගල්කිස්ස මහසේත්‍රාත් අධිකරණය වෙත ඊයේ (16) දිනයේ එම කරුණු වාර්තා කිරීම් සිදුකර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සදහන් කළේය.
පසුගිය 11 වන දින ජර්මනියේ සිට මෙරටට පැමිණි ශ්‍රීලාංකික පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වූ සැකයක් මත එක් අයෙකු අයි.ඩි.එච්.රෝහලට ඇතුළත්ව තිබේ.
කෙසේවෙතත් ඔහු සමඟ පැමිණි අනෙක් පුද්ගලයා කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි යන සැකය මත එය වසන් කරමින් විවිධ රෝහල් මගින් නිවසේ සිට ප්‍රතිකාරලබා ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසියට ලද තොරතුරක් මත අදාළ පුද්ගලයා පිළිබඳ සොයා බැලීමේ දී ඔහු අයි.ඩි.එච්.රෝහලට ඇතුළත්ව ඇති බවට අනාවරණය වී ඇත.
ඒ අනුව අදාළ පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී සිටියදී එය වසන් කිරීම සම්බන්ධයෙන් හා එයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ පිළිබදවද අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව පොලිස් මූලස්ථානය සදහන් කළේය.
මේ අතර ගාලු වරාය හරහා රට තුළට කොරෝනා වෛරසය ඇතුළු වීමේ අවදානම් තත්ත්වය මගහැරවීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
නෞකා කාර්යය මණ්ඩල මාරුවීම් මගින් වෛරසය ව්‍යාප්තිය ඇති විය හැකි බවට පලවු වාර්තා සැලකිල්ලට ගෙන එම තත්ත්වය මගහැරවීමට කටයුතු කර ඇති බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළේය.
මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පුර්ව අනුමැතියකින් තොරව මුහුණු ආවරණ අපනයනය කිරීම හෝ ප්‍රති අපනයනය කිරීම නොකළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
එමෙන්ම ඉවත දැමිය හැකි ශල්‍ය මුහුණු ආවරණ අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 50ක් ලෙසත් එන් 95 වර්ගයේ මුහුණු ආවරණ අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 325ක් ලෙසත් ගැසට් කර ඇති බව සදහන්.





















































