
පාස්කු ප්‍රහාරය පිළිබඳ පුර්ව දැනුවත් කිරීමේ බුද්ධි තොරතුරු පහළ නිලධාරින්ට යොමුකිරීමේදී උතුරු කොළඹ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වගකීම් විරහිතව ක්‍රියා කර ඇති බව ප්‍රහාරය පිළිබඳ විමර්ශනය සිදු කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (25) අනාවරණය වුණි.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්ෂක ඉංජිනේරුවරයාගේ දත්ත වාර්තාවකින් හෙළි වූයේ අදාල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා තමාට ලැබුණු අනතුරු ඇඟවීමේ පූර්ව බුද්ධි තොරතුරු පාස්කු ප්‍රහාරයට පෙර ලැබුණද ඔහු එය පහළ නිලධාරින්ට යොමු කර ඇත්තේ ප්‍රහාරය එල්ල වීමෙන්ද පසුව බවයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ජනාධිපති කොමිසම හමුවට ඊයේ ශ්‍රී ලංකා පොලිස් පරිගණක ඉංජිනේරු අංශයේ සහකාර පොලිස් අධිකාරි තාරක සෙනවිරත්න මහතාව පළමුවෙන් කැඳවා තිබූ අතර පාස්කු ප්‍රහාරය සමයේ පොලිසියේ වී.පි.එන් පද්ධතිය පැවති තත්වය පිළිබඳ ඔහුගෙන් කරුණු සටහන් කරගැනුණි.
එහිදි ඔහු කොමිසම හමුවේ කියා සිටියේ පොලිසියේ වී.පි.එන් ජාලය නඩත්තු කිරීම භාරව සිටි සමාගමට නියමිත පරිදි ගෙවීම් සිදුකර නොතිබීම හේතුවෙන් ඔවුන් අදාළ කොන්ත්‍රාත්තුවෙන් ඉවත්ව සිටි බැවින් 2018 ජුලි මාසයෙන් පසු මෙම වී.පි.එන් පද්ධතිය නඩත්තු කර නොතිබු බවයි.
ඒ සම්බන්ධයෙන් එවකට සක්‍රීය සේවයේ යෙදි සිටි දැනට අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දැනුවත් කළද ඒ සම්බන්ධයෙන් සාධනීය පියවරක් නොගත් බවද සහකාර පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් කොමිසම හමුවේ පැවසුවේය.
කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරය එල්ල වු සමයේ ශ්‍රී ලංකා පොලිසිය මෙම වී.පි. එන් පද්ධතිය සහ විද්‍යුත් තැපැල් උපයෝගි කර ගනිමින් පණිවිඩ හුවමාරු කර ඇති ආකාරය පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කිරීම සඳහා ජනාධිපති කොමිසම ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්ෂක ඉංජිනේරුවෙක් යොදවා තිබු අතර ඔහු ඉදිරිපත් කළ වාර්තාව කෙරෙහි ඉන් පසුව ජනාධිපති කොමිසමේ අවධානය යොමු වුණි.
ඒ අනුව රවිදු මීගස්මුල්ල නම් වු එකි තොරතුරු ආරක්ෂක ඉංජිනේරුවරයා කොමිසම හමුවට කැඳවනු ලැබුවේය.
එහිදි ඔහු සඳහන් කලේ ශ්‍රී ලංකා පොලිසිය වෙත ලබාදී ඇති පරිගණකයන් ඉතා කුඩා ප්‍රමාණයේ ධාරිතාවකින් සමන්විත වන බැවින් එදිනෙදා ක්‍රියාකාරකම් වලට ඇතුළත් දත්ත ගබඩාවීමක් සිදුවුවද එකි දත්ත දින දෙකක් වැනි කෙටි කාලයක් තුළ මකාදැමිමක් සිදුවන බවයි.
කෙසේ වෙතත් තමන් විසින් අදාළ විද්‍යුත් ලිපිනයන් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයේදි පාස්කු ප්‍රහාරය පිළිබඳව පුර්ව දැනුවත් කිරීමේ බුද්ධි තොරතුරු ඇතුළත් පිටු පහක ඇමිණුමක් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ඔහු යටතේ සිටි නිලධාරින්ට යොමු කර ඇති බව ඔහුගේ විද්‍යුත් ලිපිනයේ සුරක්ෂිත කර තිබු විද්‍යුත් ලිපියකින් තහවුරු කරගත් බව තොරතුරු ආරක්ෂක ඉංජිනේරුවරයා සඳහන් කළේය.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් අදාළ බුද්ධි තොරතුරු ඇතුළත් ඇමුණුම අප්‍රේල් මස 11 වන දින උදෑසන 9.56 ට කොළඹ, ගම්පහ, නුගේගොඩ සහ කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට යොමු කර ඇති බව තමන්ට තහවුරු වූයේයැයිද ඔහු මෙහිදී අනාවරණ කර සිටියේය.
අදාළ බුද්ධි තොරතුරු ඇතුළත් ඇමිණුම එදිනම උදෑසන 10.10ට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබී ඇති බවද, ඔහු විසින් තම සටහනක්ද එකතු කර පිටු 06කින් සමන්විත ඇමුණුමක් ලෙස එදිනම ප.ව 3.58ට පමණ ඔහු යටතේ සිටි කොළඹ උතුර, කොළඹ දකුණ සහ කොළඹ මධ්‍යම භාර නිලධාරින්ට යවා ඇති බවද තොරතුරු ආරක්ෂක ඉංජිනේරුවරයා ජනාධිපති කොමිසමට තහවුරු කළේය.
අදාළ ලිපිය පළමු ඉහළ නිලධාරින් දෙදෙනා විසින් නිසි පරිදි පහළට යොමු කිරීමක් දක්නට ලැබුණද, කොළඹ උතුරු කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සිට පහළට ගමන් කර ඇති ආකාරය සැකසහිත බව ඔහු වැඩිදුරටත් පෙන්වාදුන්නේය.
කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් මෙම බුද්ධි තොරතුර ඇතුළත් ඇමුණුම අප්‍රේල් මස 11 වන දින පස්වරුවේ කොළඹ උතුරු කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ලැබී තිබුණද, ඔහු විසින් එම බුද්ධි තොරතුරු පහළ නිලධාරින්ට යොමු කර ඇත්තේ පාස්කු ප්‍රහාරය සිදුවීමෙන් පසු එනම් අප්‍රේල් මස 21 වන දින පස්වරු 12.57ට පමණ බව විද්‍යුත් ලිපි පරික්ෂාවෙන් තමන්ට තහවුරු වු බව ඔහු අනාවරණ කර සිටියේය.
එසේම කොළඹ උතුර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් මෙම බුද්ධි තොරතුර පහළ නිලධාරින්ට යොමු කිරීමෙදි ඉහළ නිලධාරින් සිදුකර තිබු ආකාරයට තමන්ගේ සටහනක් යොදා නොතිබු බවද මෙහිදී හෙළිවුණි.
එම අවස්ථාවේ අදාල නිලධාරියා තම කාර්යාලයේ පරිගණකයේ යම් දත්ත මකාදැමීමක් සිදුකර ඇත්ද ජනාධිපති කොමිසම ඉංජිනේරුවරයාගෙන් විමසූ විට ඉංජිනේරුවරයා සඳහන් කලේ සිද්ධිය වී බොහෝ කාලයක් ගතව ඇති බැවින් මේ වන විට එය සොයාගැනීමේ හැකියාව ඉතා අඩු බවයි.
කෙසේ වෙතත් පුර්ණ පරීක්ෂාවකට ලක් කිරීමෙන් ඒ පිළිබඳව යම් සොයාබැලීමක් සිදු කළ හැකි බවද ඔහු ජනාධිපති කොමිසම වෙත දැන්වූවේය.
මෙම සාක්ෂිකරුගෙන් සාක්ෂි සටහන් කර ගන්නා අවස්ථාවේ ඔහුගෙන් හරස් ප්‍රශ්න ඇසිම සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කොමිසම කර තිබූ දැනුම්දීම මත, පාස්කු ප්‍රහාරය සමයේ කොළඹ උතුර කොට්ඨාශය භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සංජිව බණ්ඩාර මහතා සහ පොලිස් පරික්ෂක සුදත්සිරි උපේන්ද්‍ර මහතා ජනාධිපති කොමිසම හමුවට පැමිණ සිටියත් මෙම සාක්ෂි ලබාගන්නා අවස්ථාව වන විට ඔවුන් එතැනින් පිටව ගොස් තිබීම ජනාධිපති කොමිසමේ දැඩි අවධානයට ලක්වුණි.





















































