
වනාතවිල්ලුව ලැක්ටෝ වත්තේ නිවස තුළ කිසියම් පිරිසක් සිදුකළ රහසිගත කැණීමක් සම්බන්ධව රජයේ රස පරික්ෂකවරයාගේ සහ අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව විසින් විශේෂ පරික්ෂණයක් අද(29) ආරම්භ කර තිබුණි.
වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත නිවසේ අතුළත පොලවේ කොන්ක්‍රිට් තට්ටුව කිසියම් පිරිසක් දින කිපයකට පෙර කඩා එහි අඩි කිපයක් ගැඹුරට කැණීම් සිදුකර තිබීම සම්බන්ධව වනාතවිල්ලුව පොලීසිය මගින් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව හා රජයේ රස පරීක්ෂකවරයා දැනුවත් කර තිබූ බව වාර්තා වෙයි.
ඒ අනුව අපරාධ පරිකෂණ දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර රුෂාන් ප්‍රනාන්දු මහතා 29 දින දහවල් අදාල ස්ථානයට පැමිණ පරික්ෂණ ආරම්භ කර තිබුණි.
මෙයට සමගාමිව අපරාධ පරික්ෂණ දේපාර්තුමේන්තුවේ විශේෂ කන්ඩායමක්ද මෙම පරික්ෂණ සඳහා එක්වි සිටි බව අද දෙරණ වාර්තාකරු පවසයි.
වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත තුළ විශාල පුපුරණ ද්‍රව්‍ය තොගයක් මෙම වසරේ ජනවාරි 16 දින අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ විශේෂ කන්ඩායමක් සොයා ගෙන තිබු අතර එහිදි සැකකරුවන් සිව් දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබුණි.
ඉන් පසුව අවස්ථා කිපයකදී මෙම ඉඩමේ තිබි ගිනි අවි සහ තවත් දෑ අපරාධ පරික්ෂණ දේපාර්තුමේන්තුව සොයා ගැනීමට සමත් විය.
කෙසේ වෙතත් අදාල නිවස හා අවට පිළිබඳව රජයේ රස පරික්ෂක වෙනුවෙන් පැමිණි නිලධාරින් ද පරික්ෂණයක් සිදුකර එහි තිබු ඇතැම් සාම්පල ලබා ගැනීම සිදුවන ආකාරය දැකගත හැකි වූ බව අප වාර්තාකරු පවසයි.
මෙම අවස්ථාවට වනාතවිල්ලුව පොලිසියේ නිලධාරින් සමග පුත්තලම මුලස්ථාන පොලීසියේ අපරාධ ස්ථාන නිලධාරින්ද එක්ව තිබුණි.





















































