
ඉදිරි ජනාධිපතිවරණයේ දී රාජපක්ෂ පවුලේ ඕනෑම අපේක්ෂකයෙක් පරාජය කිරිමට සූදානම් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ජනාධිපතිවරණයට රාජපක්ෂ කඳවුර කුමන අපේක්ෂකයා ඉදිරිපත් කලද ගම ඉල්ලන දිනන අපේක්ෂකයා එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා රුපියල් මිලියන 2300 කට අධික වියදමින් මතුගම - අලුත්ගම යා කරන නව මාර්ග පද්ධතිය හා පාලම් ජනතා අයිතියට පත් කිරීමේ උත්සව මාලාවකට එක්වෙමිනි.
ගොවි කම්කරු පන්තිය නියෝජනය කරන ජනාධිපතිවරුන් වන ආර්. ප්‍රේමදාස සහ ඩී. බී. විජේතුංග වැනි නායකයන් බිහිවුයේ එකසත් ජාතික පක්ෂයෙන් බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
2015 ට වඩා පුළුල් සන්ධානයක් මෙවර ගොඩනගන බවත් ඒ සඳහා රටේ සමස්ත බහුතරයගේ මනාපය දිනාගනිමින් ජනාධිපතිවරණයට හා එළඹෙන මහා මැතිවරණය ඇති විශාල ජයක් ලබා ගන්න බව අමාත්‍යවරයා අවදාරණය කළේය.
නොයෙකුත් බාධක මැද පසු ගිය සිව් වසර තුල දැවැන්ත සංවර්දනයක් සිදුකල වත්මන් රජයට ජාත්‍යන්තරව විශාල පිළිගැනීමක් තිබෙන බවත් පෙන්වා දුන්හ.
ජනතාවට වැදගත් හා ගෞරවාන්විත ජිවත්වීමේ සමත් වටපිටාවක් මෙම ආණ්ඩුව ගොඩනැගු බවත් ඉදිරි මැතිවරණයෙන් පසුව ගොඩනගන්නේ වසර දහයකටවත් මැතිවරණයක් අවශ්‍ය නැති තරමට ශක්තිමත් ආණ්ඩුවක් බව අමාත්‍යවරයා පවසයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,
"අපි ජිවිත පරදුවට තබා 2015 දී දේශපාලන තීන්දුවක් ගත්තා. මහින්ද රාජපක්ෂ දූෂිත පාලනයට විරුද්ධව තින්දු ගන්න අපි බිය වුනේ නැහැ. එදා රනිල් වික්‍රමසිංහ මහතාගේ සහයෝගය මත පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කළා.
80 දශකයෙන් පසුව ජාතික ප්‍රශ්නය ඇතුලු රටේ ප්‍රධාන ප්‍රශ්න විසදා ගැනීමේ සුබවාදී බලාපොරොත්තුවෙන් අපි ජාතික ආණ්ඩුවකට පිවිසුනා. ඒ කාලයේ දී බැසිල් මහතා රට හැරගොස් තිබුනා.
මහින්ද මහත්තයා කාල්ටන් ගියා. එවැනි තත්ත්වයක් තුල අපි මහ මැතිවරණයකට ගියා නම් විශිෂ්ට ජයක් ලබන්න පුළුවන්කම තිබුනා. නමුත් පක්ෂයේ ජයග්‍රහණයට වඩා රටේ ජයග්‍රහණය ගැන සිතා එදා වැඩකටයුතු කළා.
එම දේශප්‍රේමී තීන්දුවෙන් වර්තමානයේ දේශපාලන අර්බුද රැසක් මතුවුනා. පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවට එක් වූ ඇමැතිවරු ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේචනය කිරීම නිසා ආණ්ඩුව අපහසුතාවට පත් වුනා.
අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම බාරගත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පසුව අංශක 180 කින් වෙනස් වීම නිසා ද අපි ආ ගමන වෙනස් වුනා.
ජනතාවට පොරොන්දු වුන මහින්ද ආණ්ඩුවේ මිනිමරුවන්, හොරුන් දුෂිතයින්ට දඩුවම් කිරීමට නොහැකි වුනා. අද ඒ දූෂිතයින්, මිනීමරුවන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සුදානම්ව සිටිනවා. එම නිසා එතුමාගේ ප්‍රතිපත්ති හා මතවාද සියල්ල වෙනස් වී ඔහු පරණ මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති අනුගමනය කරන්න පටන්ගත්තා. එවැනි පාලකයින් බිහි කිරීම යහපාලන රජයේ අරමුණ නොවෙයි. එම පාලනයට විරුද්ධව තමයි අපි ඇමැතිධූර අතහැරලා එළියට ආවේ.
එවැනි බාධක මැද තමයි අපි සංවර්ධන වැඩ කටයුතු සිදු කළේ. මෙම හේතු නිසා. ලසන්ත වික්‍රමතුංග, එක්නැලිගොඩ ද ඇතුලු උතුරේ ජනමාධ්‍යවේදීන් 39 ක් ඝාතනය කළා. ඔවුන් ඝාතනය කළේ උතුරේ සිදු වූ අසාධාරණකම් වාර්තා කිරිම නිසා. මෙවන් දේවල් සිදුවුනේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවටයි.
අද පවතින මාධ්‍ය ආයතනවලට ඒවා අමතකයි. ජනමාධ්‍ය නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය රට තුල ස්ථාවර කරමින් ශ්‍රී ලාංකික ජනතාවට ගෞරවාන්විතව ජීවත්වීමේ අයිතිය වත්මන් රජය ලබාදී තිබෙනවා. පසුගිය රජය වැඩි පොලියට ගත් වාණිජ ණය ගෙවමින් රට සංවර්ධනය කිරීමේ අභියෝගය සාර්ථකව සිදු කරනවා.
නිදහස් අධ්‍යාපනයට සහ නිදහස් සෞඛ්‍යයට වැඩිම මුදල් වෙන් කළේ යහපාලන රජයයි. මෙම තත්ත්වයන් තේරුම් ගත් ජාත්‍යන්තර අපේ අගමැතිට උදවු කරනවා. ඒ අපේ ආණ්ඩුව ගැන තිබෙන පැහැදීම නිසා. වත්මන් ආණ්ඩුවට තිබෙන බාධක හා ප්‍රශ්න ගැන ජාත්‍යන්තරයට නිවැරදි අවබෝධයක් තිබෙනවා.
ඖෂධ මිල අඩු කරමින්, ස්ටෙන්ස්, අක්ෂි කාච නොමිලේ ලබාදෙමින්, පිළිකා රෝගීන්ට සීමාවතින් තොරව ප්‍රතිකාර සේවාවන් සපයමින් නිදහස් සෞඛ්‍ය සේවාව ස්ථාපිත කර තිබෙනවා.
මෙවැනි සේවාවක් රටේ මහජනතාවට ඉටු කළත් සමහරුන් අපේ ආණ්ඩුවට ධනපති ආණ්ඩුව යැයි පවසනවා. එම සියලු සේවාවන් සිදු කළේ දුස්පත් ජනතාවටයි. රාජපක්ෂලාගෙන් තොර නායකයෙක් ඔවුන්ට නැහැ.
ප්‍රථම වතාවට ඇමරිකානු පුරවැසියෙක් ජනපතිවරණයට ඉදිරිපත් වෙන්න සුදානමින් සිටිනවා. තව ටික දවසකින් බ්‍රිතාන්‍ය ජාතිකයොත් එයි ඡන්දය ඉල්ලන්න."
මෙවර 2015 වඩා පුළුල් සන්ධානයක් ගොඩනගමින්, ජයග්‍රාහණය ස්ථිර ලෙස තම සන්ධානය සතු කර ගන්නා බවත්, මහජනතාවට අපත් සමග එකතු වන ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරත් සදහන් කරන ලදි.

















































