
ඉස්ලාම් ධර්මයට අනුව පැය 24ක් තුළ ඉස්ලාම් භක්තිකයෙකුගේ දේහයන් පිළිබඳ අවසන් කටයතු සිදුකළ යුතු වූවද සයින්දමරුදුහීදී එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහරවලින් මියගිය පිරිසගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද (02) සිදුකෙරුණේ අම්පාරේදීය.
ඒ අනුව මෙහිදී මියගිය කාන්තාවන් තිදෙනා ඇතුළු ත්‍රස්තවාදීන් දස දෙනාගේ දේහයන් සඳහා කිසිඳු ආගමික වතාවක් සිදුනොකිරීම විශේෂත්වයකි.
කෙසේ නමුත් මෙහිදී ජීවිතක්ෂයට පත්වූ දරුවන් 06 දෙනාගේ දේහයන් ඉස්ලාම් දහමට අනුව භූමිදානය කෙරුණි.
කල්මුනේ සයින්දමරුදු ප්‍රදේශයේදී පසුගිය සිකුරාදා දිනයේදී නිවසක් තුළ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් දරුවන් 06 දෙනෙකුගේත්, කාන්තාවන් තිදෙනෙකුගේත්, පිරිමි පුද්ගලයින් 06ත් මල සිරුරු ආරක්ෂක අංශ විසින් සොයාගනු ලැබුවේය.
ඉන් එක් අයෙකුගේ අතෙහි ටී 56 වර්ගයේ ගිනි අවියක් ද තිබුණි.
මරාගෙන මැරෙන බෝම්බ පිපිරිම් කිහිපයක් සිදුව තිබූ පසුබිමක ආරක්ෂක අංශ එම නිවස තුළට ගිය අතර එහිදී නිරුපද්‍රිතව සිටි කුඩා දැරියක් සහ කාන්තාවක් සොයාගනු ලැබුවේය.
ඒ අනුව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වුණේ අදාල කාන්තාව සහ දැරිය ජාතික තව්හිඩ් ජමාද් සංවිධානයේ නායකයා වූ මොහොමඩ් සහරාන් හෂීම්ගේ බිරිඳ සහ දියණිය බවයි.
මේ අතර මෙහිදී ආරක්ෂක අංශ සාමාජිකයන් වෙත ප්‍රහාර එල්ල කළේ තම සාමාජිකයන් බව අයි.එස්. සංවිධානය ද පසුගියදා ප්‍රකාශ කළේය.
මෙවන් පසුබිමක මේ පිපිරීම් වලින් මිය ගිය පුද්ගලයන් කිහිප දෙනකු සිද්ධියට පෙර පෙනී සිටි වීඩියෝපටයක් නිකුත් වී තිබුණි.
එම වීඩියෝපටයේ සිටින මෙම වයස්ගත පුද්ගලයා වන්නේ ජාතික තව්හිඩ් ජමාද් සංවිධානයේ නායකයා වූ සහරාන් හෂීම්ගේ පියා වන මොහොමඩ් කාසිම් නමැත්තා බවට ආරක්ෂක අංශ හඳුනා ගනු ලැබුවේය.
එමෙන්ම එහි පෙනී සිටින මෙම තැනැත්තා සහරාන්ගේ සහෝදරයකු ලෙස හඳුනාගෙන ඇති අතර වීඩියෝපටයේ සිටින අනෙක් පුද්ගලයන් දෙදෙනා මොහොමඩ් රිල්වාන් සහ මොහොමඩ් සෙයිනි බවට තහවුරු කරගෙන ඇත.
එමෙන්ම මෙම පිපිරීම සිදු වූ නිවස ඉදිරිපස ටී 56 ගිනිඅවියක් අතැතිව මියගොස් සිටි පුද්ගලයා මොහොමඩ් නියාස් ලෙසින් හඳුනාගෙන ඇති අතර අදාල වීඩියෝපටය පටිගත කර ඇත්තේ ඔහු බවට විශ්වාස කෙරෙයි.
මේ අතර ආරක්ෂක අංශ විසින් දිවයින පුරා සිදුකරන සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.





















































