
තමන් නිසැකවම ඉදිරි ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන බවත් ඉස්ලාමීය අන්තවාදය මෙරටින් තුරන් කිරීමට පියවර ගන්නා බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියි.
රොයිටර් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කර සිටියේය.
එසේම බුද්ධි සේවා යළි ගොඩනැඟීමේ වගකීම ද තමන් විසින් බාරගන්නා බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර සිටියි.
මෙහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා අදාළ ප්‍රහාරයෙන් අනතුරුව ආණ්ඩුවේ ප්‍රතිචාරය පිළිබඳ විවේචනාත්මක ස්වරූපයෙන් අදහස් දක්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
බෝම්බ ප්‍රහාර සම්බන්ධව පැහැදිලි තොරතුරු සැපයීමට ආණ්ඩුව අසමත් වූ අතර මේ වන විටත් පාලකයින් ඉස්ලාමීය සටන්කාමීන් වෙත චෝදනා කරමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කර සිටියි.
එකිනෙකාට දොස් පවරා ගනිමින් සිටින අතර සිදුවී ඇති දේ පිළිබඳව නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමට කිසිවෙකුත් අපොහොසත් වී ඇති බව ඔහු ප්‍රකාශ කරයි.
අයි.එස් ත්‍රස්තවාදීන්ගෙන් මෙරටට කුමන ආකාරයේ තර්ජනයක් පවතින්නේද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව පැහැදිලි ප්‍රකාශයක් සිදුකර නොමැති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
එමෙන්ම වත්මන් ආණ්ඩුව සංහිඳියාව, මානව හිමිකම් සහ ජාතික ආරක්ෂාව පටලවා ගත් බවද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කර ඇත.
යුධ සමයේ තමන් විසින් ගොඩනැගූ බුද්ධි අංශ ජාලය සහ පුළුල් අධීක්ෂණ පද්ධතීන් වත්මන් ආණ්ඩුව විසින් දුර්වල නොකළේනම් පසුගිය දින දිවයිනේ ඇති වූ ප්‍රහාරයන් වළක්වා ගැනීමේ හැකියාව තිබූ බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය.





















































