සංවර්ධනය ළඟා කර ගන්න පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් සමඟ අත්වැල් බැඳ ගන්නැයි ව්‍යාපාරිකයින්ට ජනපතිගෙන් ආරාධනයක්

සංවර්ධනය ළඟා කර ගන්න පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් සමඟ අත්වැල් බැඳ ගන්නැයි ව්‍යාපාරිකයින්ට ජනපතිගෙන් ආරාධනයක්

April 18, 2018   05:00 pm

සමාජ සාධාරණත්වයෙන් යුත් සමෘද්ධිමත් හා තිරසර සමාජයක් සහිත ලෝකයක් බිහිකිරීමට 2030 වසර වන විට තිරසර සංවර්ධනය සඳහා වූ න්‍යායපත‍්‍රයක් අනුගමනය කරමින් පොදු පිළිවෙතක් වෙත ලෝක ජාතීන් එකඟ වී තිබෙන අතර, එම අපේක්ෂා සහගත සැලැස්ම සාර්ථකව කි‍්‍රයාවට නංවා, එයට ජීවය ලබාදීමට පොදු රාජ්‍ය මණ්ඩලීය සියලූ රටවල් කැපවිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව අද (18) ලන්ඩන් නුවරදී පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩල ව්‍යාපාරික සංසදයේ ප‍්‍රධාන දේශනය සිදුකරමිනි.

රජය, ව්‍යාපාරික ප‍්‍රජාව සහ සිවිල් සමාජය යන ක්ෂේත‍්‍රවල ප‍්‍රධාන පාර්ශවකරුවන් මෙම හමුව සඳහා එක්ව සිටියහ.

එහි ප‍්‍රධාන දේශනය සිදුකළ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ  තිරසර සංවර්ධන ඉලක්ක කරා ළඟා වීමට අවශ්‍ය යටිතල පහසුකම් ගොඩනැංවීමේදී පොදු සහ පෞද්ගලික සහයෝගීතාවයේ වර්ධනය අතිශයින් වැදගත් බවයි. 

සමාජයේ වගකීම් සහගත පිරිසක් ලෙස සිය ව්‍යාපාර කටයුතුවලදී තාක්ෂණික සහ මූල්‍යමය දායකත්වය තුළින් තිරසර සංවර්ධන ඉලක්ක ළඟාකර ගැනීමට දායකවන්නැයි ද මෙහිදී සියලූ ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා පොදු රාජ්‍ය මණ්ඩලීය සහ අනෙකුත් රටවල් සමඟ අත්වැල් බැඳගනිමින්, සමාජීය වගකීම සහ සියලූදෙනා ඇතුළත් කර ගන්නා සංවර්ධනයක් සපථ කිරීමට කැපවන ලෙසද සියලූ දෙනාට ආරාධනා කළේය.

ශ‍්‍රී ලංකා රජය, තිරසර සංවර්ධන අරමුණු ඉටුකර ගැනීමේ ජාතික ප‍්‍රතිපත්තිය කි‍්‍රයාත්මක කිරීම වේගවත් සහ යාවත්කාලීන කිරීම සඳහා තිරසර සංවර්ධනය පිළිබඳ විශේෂ වූ අමාත්‍යාංශයක් ද පිහිටුවා තිබෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා නීල හරිත ආර්ථික වැඩපිළිවෙළ ශ‍්‍රී ලංකාවේ සමුද්‍රීය සහ අනෙකුත් ස්වභාවික සම්පත්වල සම්පූර්ණ උපයෝගීතාවය පරිසරහිතකාමී සහ තිරසර භාවිතයෙන් යුතුව සනාථ කරනු ඇතැයි ද සඳහන් කළේය.

මෙම ආර්ථික උපක‍්‍රම හරහා වූ යහපත් ක‍්‍රමවේද ආමන්ත‍්‍රණය කිරීමේ පරමාදර්ශී රටක් බවට පත්වීමට ශ‍්‍රී ලංකාව අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.