
බන්දුල ගුණවර්ධනලා මේ තරම් මිනිස්සු අන්දන්නේ ඇයි? යනුවෙන් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ අජිත් ප්‍රසන්න මහතා අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රශ්න කළේය.
පළායාමට උත්සාහ කළ එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම සාමාජිකයාගේ පවුලේ අය වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක වන්දියක් ගෙවන්නැයි හිටපු යුද හමුදා මේජර් විමල් වික්‍රමගේට අධිකරණයෙන් නියම කළ පසු එම මුදල එක්රැස් කර ගැනීමට තමන් මුල්වීමෙන් පසු සිදුව ඇති අකටයුතුකම් ගැන දැනුවත් කිරීම සඳහා අද පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.
එකී ලක්ෂ 20 මුදල ජනතාවගෙන් එක්රැස් කිරීම මුහුණුපොතේ සටහන් තබමින් ආරම්භ කළේ තමා බවත්, තමන්ගේ නමට එම ගිණුම ආරම්භ කිරීමට හැකියාව තිබියදී එම රණවිරුවාගේ ගිණුමකටම මුදල් එකතු කළේ එය විනිවිදභාවයෙන් යුතුව සිදුකිරීමට බවත්, ඔහු පැවසුවේය.
කෙසේ වුවද අදාළ රුපියල් ලක්ෂ 20ක මුදල එකතු වීමෙන් පසු බන්දුල ගුණවර්ධනත් රණවිරුවා වෙනුවෙන් යැයි කියමින් හෝමාගමදී මුදල් එකතු කිරීම ආරම්භ කළ බවත්, අජිත් ප්‍රසන්න මහතා කීවේය.
අවශ්‍ය මුදල ඒකරාශි වූ පසු තවදුරටත් මුදල් එකතු කරන්නේ මන්ද යන්නත්, බන්දුල ගුණවර්ධන වැනි අය මීට සම්බන්ධ වූයේ මෙම වැඩසටහන ආරම්භ කර දින ගණනක් ගිය පසු බවත්, පැවසූ අජිත් ප්‍රසන්න මහතා රණවිරුවෝ නමින් තවදුරටත් මුදල් එකතු කිරීම තුළ වංචාවක් සිදුවිය හැකි බව කියා සිටියේය.
ඒ අනූව යුතුකමක් ලෙස එම මුදල එකතු වූ බව මුහුණුපොතේ සඳහන් කිරීමටත්, එම වැඩසටහනට මුල්වූ අයෙකු ලෙස රුපියලක්වත් වංචා නොකිරීමටත් තමාට වගකීමක් ඇති බවද හෙතෙම කීවේය.
තමන් එකතු කළ මුදල එම රණවිරුවාට ලැබීමට සැලැස්වූ බවත්, ලක්ෂ 20 එකතු වූ පසු බන්දුල ගුණවර්ධනත් සල්ලි එකතු කිරීම තුළ සරත් ෆොන්සේකා පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයත් සමග තමාට සැකයක් මතුවූ බවද හෙතෙම පැවසුවේය.
රණවිරුවෝ නමින් කැටහොල්ලා ඒකාබද්ධ විපක්ෂය මුදල් ගසා කෑ හැකි බවට පාර්ලිමේන්තුවේදී සරත් ෆොන්සේකා අමාත්‍යවරයා පසුගියදා කළ ප්‍රකාශයක් අජිත් ප්‍රසන්න මහතා එහිදී සිහිපත් කළේය.
කෙසේ වුවද සරත් ෆොන්සේකා රණවිරුවන් බේරාගැනීමේ කැට ව්‍යාපාරයට සල්ලි දෙන්න එපා කියමින් ඊට එරෙහිව අදහස් පළ කර ඔහුද ජාති ද්‍රෝහියෙකු වී ඇති බවද අජිත් ප්‍රසන්න මහතා පෙන්වාදුන්නේය.
ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත් රණවිරුවෙක් වෙනුවෙන් එම වැඩසටහන ආරම්භ කිරීමෙන් පසු තමා සමග සුහදව සිටි විමල් වික්‍රමගේට තමා දැන් එපා වී ඇති බවත්, බන්දුල ගුණවර්ධන ඔහුට වීරයෙකු වී ඇති බවත්, අජිත් ප්‍රසන්න මහතා පැවසුවේය.
අදාළ මුදල පැපිලියාන සුනේත්‍රා දේවී පිරිවෙණේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ලබන 29 වැනිදා ලබාදෙන බවට බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පුවත්පත් මගින් අනාවරණයක් කර ඇතැයිද ඔහු කීවේය.
එම මුදල එක් රැස් කිරීමට මහින්දවත්, ගෝඨාභයවත්, බැසිල්වත්, විමල්වත්, උදයවත් මුල්නොවූ බවත්, එය තමන්ගේ මූලිකත්වයෙන් ආරම්භ කළ දෙයක් බවත්, ඊට තමාගේ මුහුණුපොත සාක්ෂි සපයනු ඇති බවත්, ඔහු එහිදී කියා සිටියේය.
තමන් මුල්වී ආරම්භ කළ එම වැඩසටහනට අතරමඟදී එක්ව නමදාගත් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ගෝඨාභය රාජපක්ෂ අන්දවා ඉන්පසු මැදගොඩ අභයතිස්ස හිමියන්ද අන්දවන්න යන බවත්, ඔහු පෙන්වාදුන්නේය.
බන්දුල ගුණවර්ධනලා මේ තරම් මිනිස්සු අන්දන්නේ ඇයි? බන්දුල ගුණවර්ධනලා කියන්නේ යුද්ධයේ එක උණ්ඩයක්වත් ඔළුවට උඩින් ගිය අය නෙවෙයි මේ අයගේ එක දරුවෙක් යුද හමුදාවට යවලා තියෙනවාද? අපේ ලේ කකියනවායනුවෙන්ද පැවසූ අජිත් ප්‍රසන්න මහතා තමන් ඇතුළු තමාගේ සහෝදරයින් හමුදාවට බැඳි රට වෙනුවෙන් සේවය කළ අය බවත්, බන්දුල ගුණවර්ධනලා ඒ වෙනුවෙන් කිසිවක් නොකළ බවත්, කියමින් දැඩිලෙස දෝෂා රෝපණය කළේය.


















































