එම්.එස්.ආනන්දන් අභාවප්‍රාප්ත වෙයි!

එම්.එස්.ආනන්දන් අභාවප්‍රාප්ත වෙයි!

June 26, 2016   09:02 am



ප්‍රවීන සිනමා කැමරා ශිල්පී, සිනමා අධ්‍යක්ෂවරයෙකු හා නිෂ්පාදකවරයෙකු වන එම්.එස්. ආනන්දන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන වි‍ට ඔහු 83වන වියේ පසු වූ බව පවුලේ ඥාතීන් පවසයි.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද සවස 4.00 ට බොරැල්ල කනත්තේදී සිදුකෙරෙන අතර දේහය මේවන විට කොළඹ ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබේ.

මොහු නිධානය, ගොළු හදවත, ගැහැණු ළමයි, මඩොල්දූව, හඳපාන ඇතුළු සිංහල චිත්‍රපට රැසක කැමරා අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළේය.

පසුව සිනමා අධ්‍යක්ෂකවරයකු මෙන්ම නිෂ්පාදකයෙකු වූ එම් එස් ආනන්ද මහතා "ශ්‍යාමා"  චිත‍්‍රපට පෙළ හඳුන්වා දෙන ලදී.

ඒ අනුව මගේ නංගී ශ්‍යාමා, චන්ඩි ශ්‍යාමා, බේබි ශ්‍යාමා, හෙලෝ ශ්‍යාමා, මම බය නෑ ශ්‍යාමා ආදී වශයෙන් මෙවැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ අතර ඔහුගේ දියණිය වන ශ්‍යාමා ආනන්ද ප්‍රධාන නිළිය ලෙස එ්වායේ රගපෑමට යොදා ගන්නා ලදී.

මොහු අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කළ ප්‍රථම චිත්‍රපටය වූයේ "ප්‍රවේශම් වන්න" වන අතර එම චිත්‍රපටයේද ඔහුගේ දියණිය ශ්‍යාමා ද්විත්ව චරිත රගපාන ලදී.

1965 එම්.එස් ආනන්ද විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ'සත පනහ'චිත්‍රපටය වෙනුවෙන් හර්බට් ඇම් සෙනෙවිරත්න විසින් රචිත,ආර්.මුත්තුසාමි විසින් සංගීතවත් කොට එච්.ආර් ජෝතිපාල සහ සුජාතා අත්තනායක විසින් ගායනා කරනු ලැබූ 'චන්ද්‍රා මේ රෑ පායා ආවා"ගීතය ඉතාමත් ජනප්‍රිය විය.

අද දෙරණට අදහස් දැක්වූ ප්‍රවීණ චිත්‍රපට විචාරක සුනිල් මිහිදුකුල මහතා කියා සිටියේ එම්.එස් ආනන්දන්ගේ ප්‍රතිභාව ඉස්මතුව දක්නට ලැබුණේ ලෙස්ටර් ජෙම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද ගොළුහදවත සහ නිධානය යන චිත්‍රපටවල කැමරා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කිරීමෙන් බවයි.

ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා එළිමහන් දර්ශනවලට ප්‍රිය කළ බැවින් විලී බ්ලේක්,සුමිත්ත අමරසිංහ වැනි කැමරා අධ්‍යක්ෂවරුන් සමග කටයුතු කොට 'නිධානය'චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන විට එය ලංකා චිත්‍රාගාර නිෂ්පාදනයක් වූ බැවින් එහි ඒ වනවිට සේවය කළ වෘත්තීය කැමරාකරුවෙකු වූ එම්.එස් ආනන්දන්ගේ සේවය ලබාගැනීමට සිදුවූ බවත්,එහිදී මොහුගේ හැකියාව මේ තරම් වේ යයි ලෙස්ටර් වුවද මුලදී කල්පනා කරන්නට නැති බවත් සුනිල් මිහිදුකුල මහතා පෙන්වා දුන්නේය.

එසේ වුවද එම්.එස් ආනන්දන් විසින් ස්වකීය දියණිය යොදා අධ්‍යක්ෂණය කරන ලද 'ශ්‍යාමා"චිත්‍රපට පෙළෙහි අධ්‍යක්ෂණය මෙන්ම කැමරාකරණයද ඉතා දුර්වල බව තම අදහස බවත්,සිනමාව අධ්‍යක්ෂවරයා මූලික කොටගත් කලාවක් බව එයින්ද ගම්‍ය වන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.