සායනික පුහුණුව රජයෙන් නම් මාලඹේ වෛද්‍ය විද්‍යාලය ජන සතු කළ යුතුයි

සායනික පුහුණුව රජයෙන් නම් මාලඹේ වෛද්‍ය විද්‍යාලය ජන සතු කළ යුතුයි

December 16, 2015   03:00 pm


මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට සායනික පුහුණුව ලබාදීම රාජ්‍ය ආයතන තුළ සිදුකරන්නේනම්
එම ආයතනය ජන සතු කළ යුතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ අනුව මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ජන සතු කොට රජයේ පිළිගත් නිර්ණායකයන්ට අනුව සිසුන්
ඇතුළත් කර ගැනීමටත්, ඔවුන්ගේ සුදුසුකම් සොයා බැලීමත් කළ යුතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ
සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා කියා සිටියි.

සිසුන්ගේ අ.පො.ස (සා/පෙ) හා උ/පෙ සුදුසුකම් පරීක්ෂා කළ යුතුව ඇති බවත්, එසේ නොකොට ඥාතිත්වය හෝ
හිතවත්කම් මත සුදුසුකම් නැති පිරිසක් රාජ්‍ය ආයතන තුළට පැමිණ රෝගීන් පරීක්ෂා කිරීමෙන් රෝගි ජනයාට
අගතියක් සිදුකරන්නේනම් එහිදී රෝගීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ වද සංවිධාන පෙනී සිටිනු ඇතැයි ඔහු පෙන්වා
දුන්නේ අද (16) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

පසුගිය වසර 7ක කාලසීමාව තුළම අඩුපාඩුකම් සහිතව අධ්‍යාපන කටයුතු පවත්වාගෙන ගොස් ඇති බවත්,
ගුණාත්මක බවින් තොර අධ්‍යාපනයක් මෙම සිසුන්ට ලබාදී ඇති බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් ඊයේ දිනයේ මෙම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට සායනික පුහුණුව ලබාදීමට සෞඛ්‍ය
අමාත්‍යංශ බලධාරීන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පොරොන්දුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට
සිදුවන බවත්, ඒ අනුව එළඹෙන 18 වන දින ශාඛා සංගම් සමග මේ පිළිබඳ සාකච්ඡා කොට අවසන් තීරණයක්
ගන්නා බවත් හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.