
විදේශ ගතව සිටින සිය බිරිඳ වෙනත් පුද්ගලයෙකු සමග සබඳතාවයක් ඇතිකර ගත් බවට ඇති වූ සැකයකින් පසු යටියන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සිය 3 හැවිරිදි පුතා හා 7 හැවිරිදි දියණිය නිවස තුළ ගෙල වැලලා ඝාතනය කර ඔහුද සිය දිවි නසා ගැනීමට තැත්කර ඇති පුවතක් වාර්තා වේ.
යටියන්තොට, මීඔයවත්ත, වල්පොල කොටස ලයිමවත්තේ නිවසක මෙය සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය කියයි.
අද අලුයම 2.08ට පමණ 119 හදිසි දුරකථන ඇමතුම් අංකයට ලැබුණු පණිවිඩයකට අනූව යටියන්තොට පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇත.
අතක් කපා ගැනීම නිසා තුවාල ලබා සිටි දරුවන්ගේ පියා බව කියන 35 හැවිරිදි පුද්ගලයෙකු එම අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයාගේ බිරිඳ රට රැකියාවකට ගොස් ඇති බවත් බිරිඳ සම්බන්ධයෙන් ඇති වූ සැකයක් නිසා දරුවන් ද ඝාතනය කර ඔහු සියදිවි නසා ගැනීමට තැත්කර ඇති බව පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය කියයි.


















































