
ජොස් බට්ලර්ගේ දැවීයාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට චෝදනා එල්ල වුවද ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය රඳා පවත්වා ගනිමින් ඔවුන් කටයුතු කර ඇති බව එංගලන්ත මැරිල්බෝන් ක්‍රිකට් සමාජය පවසයි.
එංගලන්තය සමග පැවැති 5 වැනි එක්දින තරඟෙය්දී සචිත්‍ර සේනානායක විසින් ජෝස් බට්ලර් දවා ගැනීමේ ආන්දෝලනාත්මක සිද්ධියේදී ශ්‍රී ලංකා පිලට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම ක්‍රිකට් සමාජය මේ බව අනාවරණය කර ඇත.
එකී සිද්ධියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කටයුතු කර ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ නීතිවලට පටහැනිව නොවන බවත් ඔවුන් ජෝස් බට්ලර්ට දෙවරක්ම අවවාද කිරීම තුළින් එය පැහැදිලි වන බවත් මැරිල්බෝන් ක්‍රිකට් සමාජය පෙන්වාදෙයි.
එංගලන්තය සමග පැවැති 5 වැනි එක්දින තරඟයේදී සචිත්‍ර සේනානායක පන්දු යවන විට ඔහුගේ අන්තයේ සිටි ජෝස් බට්ලර් පන්දු යැවීමටත් පෙර අනෙක් අන්තයට දිවයාමට උත්සාහ කළේය.
අවස්ථා දෙකකදීම මේ ගැන සේනානායක විසින් බට්ලර් මෙන්ම විනිසුරුවරයා ද දැනුවත් කරන ලදී.
කෙසේ වෙතත් තෙවැනි වතාවේදී ඔහු කඩුල්ලේ බෙල්ස් ඉවත් කළ අතර පූර්ව දැනුම්දීමකින් පසුව යළි යළිත් එසේ කළ බැවින් ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම්කරන්නැයි ඇන්ජලෝ මැතිව්ස් විනිසුරුගෙන් ඉල්ලා සිටියේය.
මෙවැනි අවස්ථාවක පන්දු රකින කණ්ඩායමේ නායකයාගේ අභිමතය පරිදි පිතිකරුට පන්දුවට පහරදීමට තවදුරටත් අවස්ථාව ලබාදීමට මෙන්ම නොදීමට ද හැකිය.
මෙම සිද්ධියේදී ජෝස් බට්ලර් දෙවතාවක්ම දැනුවත් කර යළි යළිත් එසේම කළ බැවින් තෙවැනි වතාවේදී ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කරන්නැයි මැතිව්ස් විනිසුරුගෙන් කළ ඉල්ලීම අනූව විනිසුරු බට්ලර් දැවී ගිය අයෙකු ලෙස නම් කළේය.
පසුව මෙම සිද්ධිය ක්‍රිකට් පිටියේ වඩාත් කතා බහට ලක්වූ අතර එංගලන්ත කණ්ඩායමේ නායක ඇලෙස්ටයාර් කුක් මැතිව්ස් ගනු ලැබූ එම තීරණයට අප්‍රසාදය පළ කරන ලදී.
කෙසේ වෙතත් මැතිව්ස් මෙන්ම මහේල ජයවර්ධන ද පවසා තිබුණේ දෙවතාවක්ම දැනුවත් කිරීමෙන් පසු බට්ලර් යළි යළිත් එම වැරැද්ද කළ නිසා ඔහු දැවීගිය අයෙකු ලෙස නම් කරන ලෙස ඉල්ලා සිටි බවයි.
දෙරට අතර ලෝඩ්ස් හි පැවැති සිව්වැනි තරඟයේදීත් මේ ආකාරයට එංගලන්ත ක්‍රීඩකයින් පන්දු යැවීමට පෙර දිවගොස් ලකුණු කිහිපයක්ම රැස්කර ඇති බවද ශ්‍රී ලංකා කණ්ඩායම විසින් පවසා තිබුණි.
මෙම සිද්ධිය දෙස් විදෙස් මාධ්‍ය වැඩි වශයෙන් වාර්තා කළ අතර මැරිල්බොන් ක්‍රිකට් සමාජය ශ්‍රී ලංකා කණ්ඩායම එම අවස්ථාවේ හැසිරුණු ආකාරයේ වරදක් නැතැයි මේ නිසා ප්‍රකාශ කර තිබේ.
බට්ලර් දවාගත් ක්‍රමය ක්‍රිකට් ක්‍රීඩාවේදී සුප්‍රසිද්ධ “ මැන්කඩින්” ලෙස හඳුන්වයි.
එනම් පන්දු යවන්නා පන්දුව යැවීමට පෙර පන්දු යවන අන්තයේ සිටින පිතිකරු සීමාඉර පසුකර දුවද්දී පන්දු යවන්නා පන්දුව නොයවා කඩුල්ල බිඳ දමමින් පන්දු යවන අන්තයේ සිටින පිතිකරුවා දුවද්දී දැවීයාමට ලක් කිරීමය.

















































