කැපවුණු උදවියට කැපිල්ල - ලිංගික සංකේතවලට තැන ඇවිත්

කැපවුණු උදවියට කැපිල්ල - ලිංගික සංකේතවලට තැන ඇවිත්

January 22, 2014   01:42 pm

දීර්ඝ කාලයක් තරුණ, ශිෂ්‍ය, කාන්තා, වෘත්තීය සමිති සහ ප්‍රාදේශීය දේශපාලනයේ නිරතව සිටි අත්දැකීම් සහ දේශපාලන විනයක් සහිත පුද්ගලයින්ට නාම යෝජනා නොදෙන පක්ෂ තම නාමයෝජනා ‘ලිංගික සංකේත‘ වලින් පුරවමින් සිටින බව කැෆේ සංවිධානය පවසයි.

දීර්ඝ කාලයක් තම පක්ෂ ව්‍යුහය ශක්තිමත් කළ, තම පක්ෂයේ උන්නතිය වෙනුවෙන් දර දිය ඇද්ද පුද්ගලයින් පසෙකලා නවක ජනප්‍රිය තරු සඳහා නාමයෝජනා ලබාදෙන්නට මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ පෙළ ගැසෙමින් තිබීම පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය කියා සිටියි.

එම සංවිධානයේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනයක මෙසේද සඳහන්ය.

පක්ෂ මාරු කරමින් කරනම් ගසන්නන් බුලත් දී පක්ෂයට බඳවා ගන්නා මේ උදවිය තමන්ගේ ජීවිතයේ හොඳම කාලය පක්ෂය වෙනුවෙන් කැප කළ තරුණ තරුණියන්ගේ දේශපාලන අනාගතය විනාශ කර දමයි.

නාමයෝජනා ලබාදීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් සම්මුඛ සාකච්ඡා පැවැත්වීම මේ වන විට ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් ආරම්භ කොට ඇත. දීර්ඝ කාලයක් ශිෂ්‍ය තරුණ, කාන්තා සහ වෘත්තීය කේෂ්ත්‍රයන් හි නියමුවන් වෙමින් පක්ෂ වෙත දර දිය ඇදි පුද්ගලයින් විශාල පිරිසක් කැපී ගොස් ඔවුන් වෙනුවට ‘ලිංගික සංකේත‘ වලට නාමයෝජනා ලැබෙමින් තිබේ.

දේශපාලනයේ කාන්තා නියෝජනය පිළිබඳ දැඩි අවධානයක් යොමුවී ඇති අතර රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම කිසිදු දේශපාලන පරිචයක් නොමැති නිළියන්, රූප සුන්දරියන්ගෙන් සිය නාමයෝජනා පුරවමින් ඇත්තේ දීර්ඝ කාලයක් පක්ෂ දේශපාලනයේ නිරත වුණු දේශපාලන දැනුම, විනය සහ පරිචයක් සහිත ක්‍රියාකාරී කාන්තාවන් ඉවත දමමිනි.

ජනප්‍රිය රැල්ලේ දේශපාලනය පැමිණි කාන්තා චරිත පක්ෂ මාරු කිරීම පමණක් නොව ප්‍රාදේශීය දේශපාලනඥයින් සමග ගැටුම් ඇති කර ගනිමින් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය විහිළුවක් බවට පත් කොට ඇත. එසේම දේශපාලන විනයක් නොමැති මහජන නියෝජිතයින් ප්‍රාදේශීය හෝ ජාතික දේශපාලනයේ මහජන නියෝජිතයින් විසින් පවත්වාගත යුතු ‘සමාජ තත්ත්වය‘ විනාශ කරමින් සිටී.

පළාත් සභා මැතිවරණය ජාතික දේශපාලන සඳහා පිවිසීමේ දොරටුව බවට පත්වී ඇති පරිසරයක මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ තම ඡන්ද ගොඩ වැඩි කර ගැනීම සදහා බාල ජනප්‍රියත්වය වැළඳ ගැනීම තුළ තරුණ, කාන්තා සහ වෘත්තීය කේෂ්ත්‍රයන් හි දක්ෂයින්ට හිමිවිය යුතු ඉඩ කඩ වසා දැමීම කනගාටුදායකය.

දිගු කලක් ප්‍රාදේශීය දේශපාලනයේ නිරත පිරිස් නොතකා හරින තත්ත්වයක් මේ තුළ මතුව තිබේ. ‘ලිංගික සංකේත‘ ඉදිරියට දමා ජනප්‍රිය දේශපාලනයේ නිරතවනු වෙනුවට ප්‍රතිපත්ති ගරුක දේශපාලන පරිචයක් සහිත අපේෂකයින් වෙත නාමයෝජනා ලබාදීම කෙරෙහි අවධානය යොමු කරන මෙන් කැෆේ සංවිධානය මෙරට සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත විවෘතව ආයාචනා කරයි.