
බාල ඩීසල් තොගයක් ගෙන්වීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ත‍්‍රිපුද්ගල කමිටු වාර්තාව අද (22) දිනය තුල භාර දීමට නියමිත බව ඛනිජ තෙල් අමාත්‍යංශය පවසයි.
අදාළ වාර්තාව අමාත්‍යංශ ලේකම්වරයා වෙත භාර දෙනු ඇති බව එම අමාත්‍යංශ ප‍්‍රකාශයෙකු පැවසූවේය.
ප‍්‍රමිතියෙන් තොර ඩීසල් තොගයක් ගෙන්වීම හා එහි කොටසක් රට තුල බෙදාහැරීම හේතුවෙන් රට පුරා මහත් ආන්දෝලනයක් ඇතිවිණි.
මෙම ඩීසල් භාවිතය හේතුවෙන් වාහන බොහොමයක් කාර්මික දෝශයන්ට ලක්වූ බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් පැමිණිලි 109 ක් ලැබී තිබු බව ඛනිජ තෙල් අමාත්‍යංශය ප‍්‍රකාශ කළේය.
බාල ඩීසල් ගෙන්වීම හා එම ඩීසල් භාවිතය හේතුවෙන් වාහන කාර්මික දෝශවලට ලක්වීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ ත‍්‍රිපුද්ගල කමිටුවේ අතුරු වාර්තාව පසුගිය සතියේ නිකුත් කෙරිණි.
කෙසේ වෙතත් ආන්දෝලනයට තුඩුදුන් ඩීසල් තොගය සමඟ ගෙන්වූ තවත් ඩීසල් මෙටි‍්‍රක්ටොන් විසිදහසක් මේ වන විටත් ඛනිජතෙල් සංස්ථා ගබඩාවල පවතියි.
මෙම ඉන්ධන තොගය සම්බන්ධයෙන් නිසි පියවරක් ගැනීමට අදාළ බලධාරීන් කල් මරමින් සිටින බව ඛනිජ තෙල් ජාතික වෘත්තීය සමිතියේ ලේකම් ආනන්ද පාලිත මහතා පවසයි.
ඉතිරිවී තිබෙන ඩීසල් මෙටි‍්‍රක්ටොන් විසිදහස සම්බන්ධයෙන් ගත යුතු ක‍්‍රියාමාර්ගය පිළිබඳ මෙතෙක් තීරණය කර නොමැති බව අද දෙරණ කල විමසීමක දී ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්‍ෂ සුසන්ත සිල්වා මහතා පැවසූවේය.
අදාළ ඩීසල් තොගය පිළිබඳ සිදුකෙරුනු ජාත්‍යන්තර පරීක්‍ෂණ වාර්තාව එලිදැක්වීමට බලධාරීන් පියවර නොගැනීම පිළිබඳව ද ඛනිජ තෙල් ජාතික වෘත්තීය සමිතියේ ලේකම් ආනන්ද පාලිත මහතා විමසා සිටියි.
මෙම පරීක්‍ෂණ වාර්තාව ඛනිජ තෙල් සංස්ථාව විසින් සිදුකරන ලද්දක් බව ඛනිජ තෙල් අමාත්‍යංශය පවසන අතර අදාළ පරීක්‍ෂණ වාර්තාව අමාත්‍යංශය මැදිහත්වීමෙන් සිදුකර ඇති බව ඛනිජ තෙල් සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්‍ෂවරයා පවසයි.


















































