ඡන්ද හිමි නාමලේඛනය අන්තර්ජාලයට

August 4, 2012   08:14 am

2011 වසරේ ඡන්ද හිමි නාමලේඛනය අන්තර්ජාලයට එක් කර තිබේ.

ඒ අනුව ඕනෑම ඡන්ද දායකයෙකුට තමා ඇතුළත් ඡන්ද හිමි නාමලේඛනය හා ඊට අදාළ තොරතුරු මෙමගින් ලබා ගත හැකි බව මැතිවරණ මහ‍ ලේකම් කාර්යාලය පවසයි.

www.slelections.gov.lk යන මැතිවරණ මහලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවියට පිවිස අදාළ තොරතුරු ලබාගත හැකිය.

එහි තම දිස්ත්‍රික්කය හා ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් අනතුරුව ඡන්ද නාමලේඛනය ලබාගත හැකි බව මැතිවරණ මහලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේය.

මේ අතර එළඹෙන පළාත් සභා මැතිවරණයේ දී ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින් සහභාගී කර නොගැනීමට තීරණය කර ඇති බව එම නිලධාරියා සඳහන් කළේය.

ඊයේ (03) පක්ෂ නියෝජිතයින්ගේ හමුවේ දී ‍ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මෙම තීරණය දැනුම් දී ඇති බව සඳහන්ය.

එහෙත් ස්වාධීන නිරීක්ෂණ කටයුතු දැඩිව සිදුකිරීමටත් මැතිවරණ නීති තදින් ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස්වරයා එහිදී දැනුම් දී ඇත.

මේ අතර මැතිවරණය පැවැත්වීමට නියමිත පළාත්වල තම නිරීක්ෂණ කණ්ඩායම් සංචාරය කරන බව පැෆ්රල් සංවිධානය පවසයි.

අද (04) සිට සතියක කාලයක් ඔවුන් එම ප්‍රදේශවල සංචාරය කරන බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.