මෙරට සමග ඇති ද්විත්ව බදු ගිවිසුමට ඉන්දියාවෙන් සංශෝධනයක්
July 20, 2026 12:51 pm
ශ්‍රී ලංකාව සමඟ ක්‍රියාත්මක වන ද්විත්ව බදු මගහැරීමේ ගිවිසුම (Double Taxation Avoidance Agreement - DTAA) සඳහා ඉන්දියාව සංශෝධනයක් සිදු කර තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ අනුව ප්‍රධාන අරමුණු පරීක්ෂාව (Principal Purpose Test - PPT) නැමැති නව රෙගුලාසිය ගිවිසුමට ඇතුළත් කර ඇති බවත් එය ඊයේ (19) දින සිට බලාත්මක වන බවත්ය.
මෙම සංශෝධනය මඟින් දේශසීමා හරහා සිදුවන ආයෝජන සහ ව්‍යාපාරික ව්‍යුහයන් බදු බලධාරීන් විසින් වඩාත් දැඩි ලෙස ඇගයීමට ලක් කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඉන්දීය රජය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය මේ සම්බන්ධව පෙන්වා දී ඇත්තේ මෙම සංශෝධනය මගින් ප්‍රධාන අරමුණ කරගෙන ඇත්තේ බදු සහන ලබා ගැනීම සඳහා පමණක් නිර්මාණය කරන ලද ආයෝජන හෝ ව්‍යාපාරික ව්‍යුහයන් හඳුනා ගනිමින් එවැනි බදු මගහැරීම් වැළැක්වීම බවය.
මේ සම්බන්ධව ඉන්දීය මුදල් අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, මෙම විධිවිධාන ඉන්දියාව තුළ පසුගිය අප්‍රේල් මස 01 වැනි දින සිට උපයන ආදායම් සඳහා අදාළ වන බවය.
මෙම නව රෙගුලාසිය යටතේ, දේශසීමා හරහා සිදුවන ආයෝජන ව්‍යුහයන් පිළිබඳ වාණිජමය අරමුණ බදු බලධාරීන් විසින් සොයා බැලීමට හැකි වනු ඇත.
ඒ අනුව යම් ගනුදෙනුවක හෝ ආයෝජන ව්‍යුහයක ප්‍රධාන අරමුණ වාණිජ කටයුත්තකට වඩා බදු සහන ලබා ගැනීම බවට සාධාරණ ලෙස නිගමනය කළ හැකි නම්, එම ගිවිසුම යටතේ ලැබෙන බදු ප්රතිලාභ ප්‍රතික්ෂේප කිරීමේ බලය බදු බලධාරීන්ට හිමි වේ.
ඒ අනුව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආයෝජන සිදු කරන සමාගම් සහ ආයෝජකයින් සිය දේශසීමා හරහා සිදුකරන ගනුදෙනු සඳහා පැහැදිලි ව්‍යාපාරික අරමුණක් පවතින බව තහවුරු කිරීමට අවශ්‍ය ලේඛන සහ සාක්ෂි නිසි පරිදි පවත්වාගෙන යා යුතුය.
මෙම සංශෝධනයත් සමඟ සමාගම්වලට සිය බදු සැලසුම් සහ ආයෝජන උපායමාර්ග නැවත සමාලෝචනය කිරීමට ද සිදුවනු ඇත.
