
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වන නාවික හමුදාපති ලෙස පත් වූ වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අද (01) ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා හමු විය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නාවික හමුදාපති ලෙස වැඩ භාරගැනීමෙන් පසු, වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ආරක්‍ෂක ලේකම්වරයා නිල වශයෙන් හමු වූ පළමු අවස්ථාව මෙයයි.
මෙහිදී, නව නාවික හමුදාපතිවරයා පිළිගත් ආරක්‍ෂක ලේකම්වරයා, එතුමාගේ නව පත්වීම වෙනුවෙන් සිය සුබ පැතුම් පිරිනැමීය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් විශිෂ්ටත්වය සහ සම්ප්‍රදායන් තවදුරටත් ඉදිරියට ගෙනයමින්, උසස් වෘත්තීය භාවය, කැපවීම සහ උපාය මාර්ගික දැක්මකින් යුතුව නාවික හමුදාව මෙහෙය වීමට නව නාවික හමුදාපතිවරයාට ඇති හැකියාව පිළිබඳවද ආරක්‍ෂක ලේකම්වරයා මෙහිදී දැඩි විශ්වාසය පළ කළේය.


















































