ඇන්ටාක්ටිකාවෙන් සොයාගත් මුල්ම ඩයිනසෝර අස්ථිය ලාච්චුවකින් මතුවෙයි
June 29, 2026 02:55 pm
වසර 40කට ආසන්න කාලයක් තිස්සේ කිසිවෙකුගේ අවධානයට ලක් නොවී රසායනාගාර ලාච්චුවක තිබූ අසාමාන්‍ය පොසිලයක්, ඇන්ටාක්ටිකාවෙන් මෙතෙක් හමුවූ ප්‍රථම ඩයිනසෝර අස්ථිය ලෙස හඳුනාගෙන තිබේ.
මෙම සුවිශේෂී පොසිලය මුලින්ම සොයාගෙන ඇත්තේ 1985 වසරේදී වුවද, එදිනෙදා ගවේෂණ කණ්ඩායමට එය කුමක්දැයි නිවැරදිව හඳුනා ගැනීමට නොහැකි වී ඇති බව සඳහන් වේ.
මේ හේතුවෙන් එය කේම්බ්‍රිජ් හි පිහිටි බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂණ ආයතනයේ (BAS) භූ විද්‍යා එකතුවට අයත් ලාච්චුවක බහා තබා තිබී ඇත.
කෙසේ වෙතත්, මෑතකදී සිදුකළ නවතම පරීක්ෂණ මඟින් ප්‍රාදේශීය විද්‍යාඥයින් තහවුරු කර ඇත්තේ මෙය පෘථිවියේ ජීවත් වූ විශාලතම ඩයිනසෝර විශේෂයක් වන "ටයිටනසෝරයෙකුගේ" (Titanosaur) වල්ගයට අයත් අස්ථියක් බවය.
බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂණ ආයතනයේ එකතු කිරීම් භාර කළමනාකරු වන ආචාර්ය මාර්ක් එවන්ස් හට මෙම පොසිලය අහඹු ලෙස හමුවී ඇත්තේ පැරණි සටහන් සහ සාම්පල පරීක්ෂා කරමින් සිටියදීය.
"ලාච්චුවක මොනවාද තියෙන්නේ කියලා නිකමට වගේ හොයලා බලද්දී තමයි මේ වගේ ඉතාම රසවත් දේවල් හමුවෙන්නේ," ඔහු පැවසීය.
මෙම අස්ථි කොටස 1985 දෙසැම්බර් 9 වන දින ජේම්ස් රොස් දූපතෙන් සොයාගත් බව භූ විද්‍යාඥ ආචාර්ය මයික් තොම්සන්ගේ පැරණි ක්ෂේත්‍ර සටහන් පොතක ලියා තිබී ඇති බව සඳහන් වේ.
එහි සෙන්ටිමීටර 10ක් පමණ පළලැති මෙම පොසිලයේ කුඩා රූප සටහනක්ද ඇඳ, "විශාල උරගයෙකුගේ කශේරුකාවක්" ලෙස සටහන් කර තිබුණි. එවකට ගවේෂකයින් සිතා සිටියේ මෙය සාගරයේ ජීවත් වූ උරගයෙකුගේ අස්ථියක් කියාය.
නමුත් ආචාර්ය එවන්ස් මෙය දුටු සැණින් හඳුනාගත්තේ මෙය සාගර උරගයෙකුගේ නොව, සැබෑ ඩයිනසෝරයෙකුගේ අස්ථියක් බවය.
මෙය ස්ථිර කරගැනීම සඳහා ඔහු ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ මහාචාර්ය පෝල් බැරට් කැඳවා තිබේ.
එහිදී පොසිලයේ ව්‍යුහය පරීක්ෂා කළ මහාචාර්ය බැරට් මෙසේ පවසා ඇත්තේ,
"මේක බැලූ බැල්මට සාමාන්‍ය ගලක් වගේ පෙනුණත්, මෙහි හැඩය ඉතාම සුවිශේෂීයි. මෙහි එක් කෙළවරක කුහරයක් සහ අනෙක් කෙළවරේ වටකුරු ගැටයක් තියෙනවා. මේවා එකිනෙකට සම්බන්ධ වෙන්නේ 'බෝල සහ කුහර' සන්ධියක් වගෙයි. මෙය ටයිටනසෝරයන්ට පමණක් ආවේණික ලක්ෂණයක්."
ලොව පුරා ටයිටනසෝර විශේෂ 100කට වඩා හඳුනාගෙන ඇත. ඔවුන් දිගු බෙල්ලක් සහ දිගු වල්ගයක් සහිත, ශාක භක්ෂක සිව්පාවුන් විශේෂයකි. මෙම විශේෂයේ විශාලතම සතුන් අඩි 115ක් දිගින් යුක්ත වූ අතර බර ටොන් 60ක් පමණ වන බව සඳහන් වේ.
කෙසේ වෙතත්, ඇන්ටාක්ටිකාවෙන් හමුවූ මෙම සත්ත්වයා අඩි 23ක් පමණ දිගැති කුඩා සත්ත්වයෙකු බව විද්‍යාඥයින් පවසයි. ඒ අනුව මූ මියයන විට කුඩා පැටවෙකු වන්නට හෝ, විශාල විශේෂ අතර සිටි කුඩා ප්‍රමාණයේ ජීවියෙකු වන්නට ඉඩ ඇති බව සඳහන් වේ.
විද්‍යාඥයින් පවසන පරිදි මෙම ඩයිනසෝරයා ජීවත් වී ඇත්තේ මීට වසර මිලියන 82කට පෙර, ක්‍රිටැසියස් යුගයේදී බව පැවසේ.
අද වන විට දැඩි සීතලෙන් සහ අයිස්වලින් වැසී පවතින ඇන්ටාක්ටිකාව, එදා සශ්‍රීක වනාන්තරවලින් පිරි, මෙම දැවැන්ත සතුන්ට ඕනෑ තරම් ආහාර සපයන සුපිරි පාරිසරික පද්ධතියක්ව පැවති බව මෙමඟින් තහවුරු වේ.
දැඩි හිම තට්ටු නිසා ඇන්ටාක්ටිකාවේ පොසිල සෙවීම අතිශය දුෂ්කරය. එබැවින්, වසර 40ක් තිස්සේ ලාච්චුවක සැඟව තිබී මතු වූ මෙම කුඩා අස්ථිය, ලෝකයේ දකුණු කෙළවරේ අතීත ජෛව විවිධත්වය තේරුම් ගැනීමට ලැබුණු අගනා දායකත්වයක් ලෙස විද්‍යාඥයින් හඳුන්වයි.
