
දුම්රිය ධාවනය ප්‍රමාදවීමේ සිද්ධියක් මුල් කරගනිමින් අලව්ව දුම්රිය ස්ථානයේදී එහි දේපොළවලට අලාභහානි සිදුකළ දුම්රිය මගියෙකු අද (19) අත්අඩංගුවට ගෙන තිබේ.
එම පුද්ගලයා අද රාත්‍රියේ අලව්ව දුම්රිය ස්ථානයේදී ධාවනයවීමට නියමිත දුම්රියක රැඳී සිටියදී හඳුනාගෙන අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය සඳුදා (15) අලව්ව දුම්රිය ස්ථානයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වූ අතර, ඒ හේතුවෙන් ඊට පසුපසින් පැමිණි දුම්රිය මඟින් එම කාර්මික දෝෂයට ලක්වූ දුම්රිය ඉදිරියට ධාවනට කිරීමට කටයුතු කර තිබුණි.
එම කටයුතු හේතුවෙන් දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවූ අතර දුම්රිය දෙකෙහි සිටි මගීන් පිරිසක් අලව්ව දුම්රිය ස්ථානාධිපති ඇතුළු කාර්යමණ්ඩලය වෙත දෝෂාරෝපණය කර තිබුණි.
අදාළ සැකකාර මගියා එම අවස්ථාවේදී එම දුම්රිය ස්ථානයේ දේපොළවලට අලාභහානි කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අලව්ව දුම්රිය ස්ථානාධිපති විසින් අලව්ව පොලීසියට සිදුකර තිබූ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

















































