
පෞරාණික වටිනාකමකින් යුත් බවට සැකකෙරෙන දුර්ලභ පාෂාණයක් රුපියල් කෝටි දෙකක මුදලකට අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයන් පස් දෙනෙකු පුල්මුඩේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පුල්මුඩේ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරකට අනුව ඊයේ (15) පුල්මුඩේ පොලිස් වසමට අයත් තෙන්නමරම් ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 29 ත් 57 ත් අතර වයස්වල පසුවන පුලියන්කුලම, ඊච්චලන්පත්තු සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
සැකකරුවන් සන්තකයේ තිබූ පාෂාණයේ නියම පෞරාණික වටිනාකම සහ එහි ස්වභාවය තහවුරු කරගැනීම සඳහා එය අදාළ අංශ වෙත යොමු කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් පුල්මුඩේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

















































