එවරස්ට් කන්දේ 'මරණයේ කලාපය' - මිනිස් සිරුර අක්‍රිය කරන බියකරු සත්‍ය

එවරස්ට් කන්දේ 'මරණයේ කලාපය' - මිනිස් සිරුර අක්‍රිය කරන බියකරු සත්‍ය

May 28, 2026   04:12 pm

ලොව උසම කඳු මුදුන වන මීටර් 8,849 ක් උසැති එවරස්ට් කන්ද තරණය කිරීමේ ප්‍රධාන කාලසීමාව මේ වන විට උදාවී තිබේ.

සෑම වසරකම ලොව පුරා කඳු නඟින්නන් විශාල මුදලක් වියදම් කරමින් තම ජීවිතය ද පරදුවට තබා එවරස්ට් මුදුනට ළඟා වීමට උත්සාහ කළ ද, එහි අවසාන අදියර මිනිස් සිරුරට ජීව විද්‍යාත්මකව ඔරොත්තු නොදෙන සතුරු පරිසරයක් බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

එවරස්ට් කන්දේ මීටර් 8,000 සීමාවෙන් ඉහළ කලාපය හඳුන්වනු ලබන්නේ 'මරණයේ කලාපය' (Death Zone) ලෙසය.

මෙම කලාපය තුළ මිනිස් සිරුර ක්‍රමයෙන් අක්‍රිය වීමට පටන් ගන්නා අතර, ඔක්සිජන් හිඟකම ඇතුළු විවිධ හේතු නිසා මේ වන විට මෙම කලාපය තුළ පමණක් මරණ 340 කට වඩා වාර්තා වී තිබේ.

2026 වසරේ වර්තමාන කඳු තරණ සමයේදී ද මෙම බියකරු අනතුර නැවත වරක් තහවුරු වී ඇත.

මෙම වාරය තුළ පමණක් මේ වන විට කඳු නඟින්නන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඒ අතර කඳු මුදුනට ළඟා වී නැවත පහළට බසිමින් සිටි ඉන්දීය කඳු නඟින්නන් දෙදෙනෙකු ද වේ.

ඔවුන්ගෙන් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 'මරණයේ කලාපය' තුළ පිහිටි අතිශය අනතුරුදායක බාධකයක් වන 'හිලරි ස්ටෙප්' (Hillary Step) අසලදීය.

විශේෂඥයන් පවසන්නේ අධික තදබදය, දැඩි විඩාව, වැරදි තීරණ ගැනීම සහ දරුණු ඔක්සිජන් හිඟකම හේතුවෙන් එවරස්ට් කන්ද පෘථිවියේ මාරාන්තිකම ස්ථානයක් බවට පත්ව ඇති බවය.

මීටර් 8,000 (අඩි 26,247) සීමාවෙන් මරණයේ කලාපය ආරම්භ වේ.

මෙම උසෙහිදී වාතයේ අඩංගු වන්නේ මුහුදු මට්ටමේ පවතින ඔක්සිජන් ප්‍රමාණයෙන් තුනෙන් එකක් වැනි සුළු ප්‍රමාණයකි.

මෙම තත්ත්වයට හැඩගැසීමට මිනිස් සිරුරට නොහැකිය.

මෙහිදී පළපුරුදු කඳු නඟින්නන් පවා ශාරීරිකව සහ මානසිකව ඇද වැටීමට ලක්වේ. හෘද ස්පන්දනය වේගවත් වන අතර, මොළයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වීම නිසා තීරණ ගැනීමේ හැකියාව සහ ශරීරයේ සමබරතාවය සම්පූර්ණයෙන්ම දුර්වල වේ.

කඳු නඟින්නන් මෙය හඳුන්වන්නේ "හුස්ම හිරවෙමින්, සෙමින් චලනය වන" බියකරු අත්දැකීමක් ලෙසයි.

එවරස්ට්හි සිදුවන මරණවලට ප්‍රධානතම හේතුව වන්නේ ශරීරයේ පටක සහ අවයවවලට අවශ්‍ය ඔක්සිජන් නිසි පරිදි නොලැබී යාම හෙවත් 'හයිපොක්සියා' (Hypoxia) තත්ත්වයයි.

කෘතිම ඔක්සිජන් සිලින්ඩර නොමැතිව යමෙකු එවරස්ට් කඳු මුදුනට ගෙන ගොස් දැමුවහොත්, විනාඩි 4ක් ඇතුළත ඔහු සිහිනැති වන අතර විනාඩි 6කින් මරණයට පත්වේ.

මෙම ඔක්සිජන් හිඟකම නිසා ශරීරයේ අවයව රැසකට හානි සිදු වේ.

මොළය - ඔක්සිජන් නොමැතිකම නිසා මොළය ඉදිමීමට ලක්වන HACE තත්ත්වය ඇති විය හැක. මෙහිදී සිහිවිකල් වීම, මායාවන් පෙනීම, කඹවලට සම්බන්ධ වීමට අමතක වීම වැනි සිදුවීම් සිදුවේ.

පෙනහළු - පෙනහළු තුළට දියර පිරීම සිදුවන HAPE තත්ත්වය ඇති විය හැකි අතර, එමඟින් දරුණු ලෙස හුස්ම ගැනීමේ අපහසුතා සහ කැස්ස ඇති වේ.

මාංශ පේශි සහ සම්බන්ධීකරණය - ශරීරය විසින්ම ශක්තිය ලබා ගැනීම සඳහා මාංශ පේශි දහනය කිරීම අරඹන බැවින් ශක්තිය ශීඝ්‍රයෙන් පිරිහී යයි.

හිම කැටීම (Frostbite) - අත්‍යවශ්‍ය අභ්‍යන්තර අවයව ආරක්ෂා කිරීම සඳහා අත් සහ පාවල ඇඟිලි වෙත ලේ ගමනාගමනය නතර වන බැවින්, ශරීරයේ අන්තයන් ඉතා වේගයෙන් මිදී යයි.

බොහෝ දෙනා සිතන්නේ කඳු මුදුනට ළඟා වීම වඩාත්ම අනතුරුදායක බවයි. නමුත් ඇත්ත වශයෙන්ම වැඩිම පිරිසක් මියයන්නේ කන්දෙන් පහළට බසින අවස්ථාවේදීය. 

කඳු මුදුනට ළඟා වන විට ශරීරයේ ශක්තිය උපරිමයෙන් වැය වී, ඔක්සිජන් සැපයුම ද අඩුවී පවතී. මෙම දැඩි විඩාව නිසා සිදුවන සුළු වැරදීමකින්, එනම් කඹය ගිලිහීමකින් හෝ ලිස්සා යාමකින් ක්ෂණිකව මරණය සිදු විය හැක.

2026 වසරේදී වාර්තාගත කඳු නඟින්නන් පිරිසක් පැමිණීම නිසා කඳු මුදුන ආශ්‍රිතව දරුණු 'වාහන තදබදයක්' බඳු මිනිස් තදබදයක් නිර්මාණය විය.

නේපාල පාර්ශවයෙන් පමණක් එකම දිනයකදී කඳු නඟින්නන් 274 දෙනෙකු මුදුනට ළඟා වී ඇති අතර, මේ හේතුවෙන් 'මරණයේ කලාපය' තුළ රැඳී සිටීමට සිදු වූ කාලය දීර්ඝ විය. මෙලෙස අධික සීතලේ රැඳී සිටීමට සිදුවීම කඳු නඟින්නන්ගේ මරණ අනුපාතය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී තිබේ.

පළපුරුදු කඳු නඟින්නන් පවසන්නේ එවරස්ට් තරණයේදී පහත නීති දැඩිව අනුගමනය කළ යුතු බවයි.

  • මරණයේ කලාපය තුළ වැඩි වේලාවක් රැඳී නොසිටින්න.
  • වේගයෙන් නැඟ, වහාම පහළට බැසිය යුතුය.
  • කාලගුණය අයහපත් නම් ආපසු හැරෙන්න
  • විශාල මුදලක් වැය කළ ද, ජීවිතය වෙනුවෙන් ආපසු හැරීමට තීරණය කළ යුතුය.
  • කෘතිම ඔක්සිජන් නිසි ලෙස භාවිත කරන්න.
  • ශරීරයේ විජලනය වළක්වා ගන්න.
  • පළපුරුද්ද අත්‍යවශ්‍ය වේ.

2026 වසරේදී එවරස්ට් වාර්තාකරු Kenton Cool ද අවධාරණය කළේ, ප්‍රමාණවත් පළපුරුද්දක් නොමැති පිරිස් එවරස්ට් තරණයට පැමිණීම වැළැක්වීම සඳහා දැඩි නීති සහ පරීක්ෂාවන් හඳුන්වා දිය යුතු බවයි.