
අද (28) අලුයම් කාලයේදී මාර්ග බාධක නොතකා ධාවනය කළ මෝටර් රථයකට මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පොලිසිය වෙඩි ප්‍රහාරයක් එල්ලකර තිබේ.
වේයන්ගොඩ, නයිවල සහ මිනුවන්ගොඩ යන ස්ථාන තුනේදීම මෝටර් රථයට නවත්වන ලෙසට අණ කළත් රථය අණ නොතකා ධාවනය කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේය.
මෝටර් රථය පොලීසියට හසු නොවීම සඳහා සූක්ෂම අයුරින් මාර්ගයේ පැමිණි ලොරියක් පසුපස පැමිණ ඇති බවත් මිනුවන්ගොඩ පොලීසිය පවසයි.
අනතුරුව යාගොඩ පොලිස් මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරින්ගේ අණටද අවනත නොවී ධාවනය වූ මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට පොලිස් නිලධාරින් පියවර ගෙන තිබුණි.
වෙඩි ප්‍රහාරය එල්ල කිරීමෙන් අනතුරුවත් මෝටර් රථය අණ නොතකා ධාවනය කර ඇති අතර ඒ අනුව පොලිස් නිලධාරින් මෝටර් රථය ලුහුබැඳ ගොස් තිබේ.
අනතුරුව ඒකල ප්‍රදේශයේ සඟවා තිබියදී මෝටර් රථය සොයාගැනීමට පොලිස් නිලධාරින් සමත් වූ අතර ඒකල නිවාස සංකීර්ණයේ සැඟවී සිටියදී මෝටර් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැනුණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට රැගෙන ආ මොටර් රථය මේවන විට පරීක්ෂා කරමින් සිටින බව මිනුවන්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසුවේය.


















































