අතිශය විෂ සහිත පළිබෝධ නාශක තහනම් කිරීමෙන්ම මෙරට සියදිවිහානි කරගැනීම් අඩුවෙලා
May 23, 2026 05:26 pm
මෙරට තුළ අතිශය විෂ සහිත පළිබෝධ නාශක ක්‍රමයෙන් තහනම් කිරීමෙන් සියදිවි නසා ගැනීම් සියයට 70කින් පමණ අඩුවී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79වන ලෝක සෞඛ්‍ය සමුළුවට සමඟාමීව “පළිබෝධ නාශක මඟින් සියදිවිනසා ගැනීම වැළැක්වීම” පිළිබඳ විශේෂ පැතිකඩ සැසිවාරයට එක්වෙමිනි.
සියලු රටවල් තමන්ගේ සියදිවි නසා ගැනීම වැළැක්වීමේ උපාය මාර්ගයන්ට පළිබෝධ නාශක සීමා කිරීම අනිවාර්යයෙන්ම ඇතුළත් කළ යුතු බව ද එහිදී අමාත්‍යවරයා යෝජනා කළේය.
මෙම සැසිය ශ්‍රී ලංකාව, ගයනාව, කෙන්යාව, නයිජීරියාව, පාකිස්ථානය යන රටවල් එක්ව සංවිධානය කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහන සහ ජාත්‍යන්තර සියදිවිනසා ගැනීම් වැළැක්වීමේ සංගමයේ හවුල්කාරීත්වය ද හිමිවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කරමින් අමාත්‍යවරයා කියා සිටියේ, විශේෂයෙන් 1990 වසරේ සිට අතිශය විෂ සහිත පළිබෝධ නාශක ක්‍රමයෙන් තහනම් කිරීම පියවර ගත් බවය.
සියලු රටවල් සියදිවිනසා ගැනීම වැළැක්වීමේ උපාය මාර්ගවලට පළිබෝධ නාශක සීමා කිරීම අනිවාර්යයෙන් ඇතුළත් කළ යුතු බවට එහිදී හෙතෙම යෝජනා කළේය.
එය අඩු වියදමකින් කෙටි කාලයක් තුළ ප්‍රතිඵල ලබා ගත හැකි මැදිහත් වීමක් ලෙස මෙහිදී නලින්ද ජයතිස්ස මහතා විසින් පෙන්වා දෙන ලදී.
කෙසේවෙතත් පළිබෝධ නාශක සීමා කිරීම පමණක් සියදිවි නසා ගැනීම් වැළැක්වීමට ප්‍රමාණවත් නොවන බවත් ඊට ප්‍රජා පාදක සෞඛ්‍ය සේවා ශක්තිමත් කළ යුතු බවත් ඒ සඳහා ශ්‍රී ලංකාව වර්තමානයේ ප්‍රාථමික සෞඛ්‍ය ශක්තිමත් කිරීම මඟින් සිදු කරනු ලබන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
1995දී මෙරට සියදිවි නසා ගැනීමේ අනුපාතය ලක්ෂයකට 47ක් වු අතර එය 2022 වන විට 14 දක්වා අඩු වී ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
