කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳ විමර්ශන CCDය යටතට

කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳ විමර්ශන CCDය යටතට

May 9, 2026   12:06 pm

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් වන විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී තිබේ.

ඔහුගේ මෘත ශරීරය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වෛද්‍යවරුන් පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇති අතර මේ වන විට මරණ පරීක්ෂණය පැවැත්වෙන බව වාර්තා වෙයි.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මළ සිරුර කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවසක තිබියදී හමුවූයේ ඊයේ උදෑසනය.

ගෙල වැළලාගෙන මියයන්නට ඇතැයි සැක කෙරුණු මෙම මරණය සම්බන්ධයෙන් විමර්ශන මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී තිබේ.

මේ අතර චන්ද්‍රසේන මහතාගේ මෘත ශරීරය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා කොළඹ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියන්ත අමරරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය කමිටුවක් පත්කරනු ලැබීය.

ඒ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ ලබාදුන් නියෝගයට අනුවයි.

ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණය අද පෙරවරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය හා විෂවේද ආයතනයේදී ආරම්භ කෙරුණි.

කපිල චන්ද්‍රසේන මහතා සැකකටයුතු ලෙස ඊයේ මියගොස් තිබුණේ ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කර තිබූ පසුබිමකය.

2013 වසරේ ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවේදී අමෙරිකානු ඩොලර් මිලියන 02ක් අල්ලස් ගැනීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව දින 54ක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි චන්ද්‍රසේන මහතා ඉකුත් මැයි 05 වනදා අධිකරණය විසින් මුදාහැරුණේ රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ ළඟම ඥාතීන් තිදෙනෙකුගේ රුපියල් ලක්ෂ 100ක ශරීර ඇප තබන ලෙස කොන්දේසි පනවමින්ය.

එහිදී අධිකරණයට වාර්තා වූයේ කපිල චන්ද්‍රසේන මහතා ඇප කොන්දේසි සම්පූර්ණ කිරීම සඳහා ඥාතීන් බවට ව්‍යාජ ලෙස අඟවමින් පුද්ගලයින් 02 නෙකු ඉදිරිපත් කර ඇති බවය.

අධිකරණයේ විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේන මහතා නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම කළ ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකරුට යළි වරෙන්තු නිකුත් කළේය.

චන්ද්‍රෙස්න මහතා මියගොස් තිබුණේ එම වරෙන්තුව අනුව ඊයේ ඔහු අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණු පසුබිමකයි.