ජනපති අස්ගිරි - මල්වතු මහා නාහිමිවරුන් බැහැදැක අලුත් අවුරුද්දට ආශිර්වාද ලබාගනී

ජනපති අස්ගිරි - මල්වතු මහා නාහිමිවරුන් බැහැදැක අලුත් අවුරුද්දට ආශිර්වාද ලබාගනී

April 15, 2026   12:00 pm

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු මහා විහාරය වෙත ගොස් මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.

උන්වහන්සේ මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ පිරිස වෙත සිය ආශිර්වාදය පළ කළහ.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ අස්ගිරි මහා විහාරය වෙත ගොස් මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.

මෙහිදී අස්ගිරි මහා නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ජනාධිපතිවරයා ප්‍රමුඛ පිරිස වෙත සිය ආශිර්වාදය පළ කළහ.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරුන්ද බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය.

මල්වතු මහා විහාරයේදී ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක හිමිපාණන් වහන්සේ බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේගේ සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.

අනතුරුව, ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරය වෙත ගිය ජනාධිපතිවරයා ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනායක හිමිපාණන් වහන්සේද බැහැදැක ආශිර්වාදය ලබා ගත්තේය. 

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවටද එක්විය.