මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

මැදපෙරදිග යුද්ධයේ නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

March 27, 2026   05:50 am

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (27) දින 28ක් ගතවී ඇත.

-----------------

Update 10:20PM

ධවල මන්දිරය විසින් 'The White House' නමින් නව දුරකතන යෙදවුමක් නිකුත් කර තිබේ. 

එමඟින් ජනාධිපතිවරයා සම්බන්ධ සියලුම යාවත්කාලීන තොරතුරු ලබා ගත හැකි බව එම මන්දිරය සඳහන් කරයි. 

මේ අතර අමෙරිකානු මුදල් නෝට්ටුවක අත්සන් තැබූ ප්‍රථම ජනාධිපතිවරයා බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වනු ඇති බව එරට භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළේය. 

ඒ අනුව, ලබන ජූනි මාසයේ සිට නිකුත් කරන නව නෝට්ටුවල ජනාධිපතිවරයාගේ අත්සන් දැකගත හැකි වනු ඇත.

1861 වසරේ සිට වසර 165ක් පුරා එරට මුදල් නෝට්ටුවල අත්සන් කිරීමේ බලය භාණ්ඩාගාරිකවරයා වෙත පැවැරි තිබුණි.

ඒ අනුව එම සම්ප්‍රදාය නිමා කරමින් මින් ඉදිරියට භාණ්ඩාගාරිකවරයා වෙනුවට ජනාධිපතිවරයාගේ අත්සන මුදල් නෝට්ටුවලට එක් කෙරෙන බවයි එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි. 

-----------------

Update 10:07 PM

ලෙබනනයේ උතුරු බෙකා කලාපයේ පිහිටි al-Bazaliyeh නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් ගැබිනි මවක් මියගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

----------------------

Update 10:00PM

ටෙහෙරාන් නුවරට එල්ල වූ මෑතකාලීන ප්‍රහාරවලින් අවම වශයෙන් කෞතුකාගාර සහ ඓතිහාසික ස්ථාන 120ක් පමණ හානියට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
------------------

Update 09:30 PM

අමෙරිකානු-ඊශ්‍රායල සහ ඉරාන යුද්ධයේදී සිවිල් වැසියන් සහ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර වහාම නතර කරන ලෙස G7 රටවල විදේශ අමාත්‍යවරුන් ඉල්ලා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

-----------------

Update 09:15 PM

ඉරානයේ ඉස්ෆහාන්හි පිහිටි වානේ කර්මාන්තශාලාවට එල්ල වූ ප්‍රහාරයෙන් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත.

මේ අතර, ඊශ්‍රායල හමුදාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේ ඉරානය පුරා ප්‍රදේශ තුනක් ඉලක්ක කරගනිමින් දැවැන්ත ප්‍රහාර මාලාවක් ආරම්භ කර ඇති බවයි.
----------------

Update 09:00 PM

අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානය පුරා සිවිල් ගොඩනැගිලි 92,000කට වඩා වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇති බව ඉරාන රතු අඩ සඳ සංවිධානය පවසයි.

-------------------

Update 08:30 PM

ඉරානයට සම්බන්ධ හැකර්වරු කණ්ඩායමක් විසින් අමෙරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශයේ (FBI) අධ්‍යක්ෂ කැෂ් පටෙල්ගේ පෞද්ගලික ගිණුමක් බිඳදමා ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.

ඔවුන් විසින් අධ්‍යක්ෂවරයාගේ ඡායාරූප සහ ඔහුගේ ජීව දත්ත පත්‍රිකාව (Resume) යැයි සැලකෙන ලේඛන අන්තර්ජාලයට මුදාහැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Handala Hack Team නමැති හැකර් කණ්ඩායම ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන් කර ඇත්තේ, සාර්ථකව හැක් කරන ලද ගොදුරු බවට පත්වූවන්ගේ ලැයිස්තුවට දැන් පටෙල්ගේ නම ද ඇතුළත් වන බවය.

-----------------

Update 08:00 PM

ඉරානය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පසුගිය පැය 24 තුළ පමණක් පුද්ගලයන් 261 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

-----------------

Update 07:55 PM

චීන නෞකා සඳහා ඉරානය විසින් ආරක්ෂිතව ගමන් කිරීමේ සහතිකය ලබා දී තිබුණද, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාමට උත්සාහ කළ චීන කන්ටේනර් නෞකා දෙකක් අද (27) නැවත හරවා එවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

-------------------

Update 07:50 PM

අමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ඉරානයේ ප්‍රධාන වානේ කර්මාන්තශාලා දෙකකට දැඩි හානි සිදුවී ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත.

----------------

Update 07:45 PM

ඉරානයේ නැගෙනහිර අසර්බයිජාන් පළාතේ යම්චි නගරයට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් සිව්දෙනෙකු මියගොස් ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ.

මියගිය පිරිස අතර එකම පවුලේ සාමාජිකයන් සිව්දෙනෙකු සිටින අතර, ඒ අතර කුඩා දරුවන් දෙදෙනෙකු ද වන බව සඳහන්.

--------------
Update 07:35 PM

ඉරානයේ පර්ඩිසාන් ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරවලින් 18දෙනෙකු මියගොස් තවත් 10දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

---------------

Update 07:15 PM

අමෙරිකාව ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව ගෙන යන යුද්ධයේදී සාම සාකච්ඡා ආරම්භ කිරීම ලේසි පහසු කාර්යයක් නොවන නමුත් හෝමුස් සමුද්‍ර සන්ධියේ සාමාන්‍ය නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට එය බෙහෙවින් උපකාරී වනු ඇතැයි චීන විදේශ අමාත්‍ය වෑන්ග්යී පවසයි.

චීන විදේශ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සමඟ පැවැත්වූ දුරකථන සංවාදයකදීය.

-------------------

Update 07:10 PM

ඊශ්‍රායල ආක්‍රමණය හේතුවෙන් ලෙබනනයේ මිලියනයකට අධික සිවිල් වැසියන් පිරිසකට සිය නිවෙස් අතහැර යාමට සිදුව ඇති බවත්, ඔවුන්ට ආරක්ෂාව පතා යාමට ඇති විකල්ප ඉතා සීමිත බවත් නෝර්වේ සරණාගත කවුන්සිලයේ ලෙබනන අධ්‍යක්ෂිකා Maureen Philippon පවසයි.

-------------------

Update 07:05 PM

ප්‍රහාර එල්ල කළ හැකි ඉලක්ක හඳුනා ගැනීම සඳහා රුසියාව ඉරානයට සහාය වන බවට ජර්මන් විදේශ අමාත්‍යවරයා චෝදනා කර තිබේ.

ප්‍රංශයේ පැවැත්වෙන G7 විදේශ අමාත්‍යවරුන්ගේ හමුවකදී මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. 

-----------------

Update 06:52 PM

ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරවලින් පසුව ඊශ්‍රායල වැසියන් ආරක්ෂිත බංකර් කරා වේගයෙන් දිවයාමේදී ඇතිවූ තෙරපීමක් හේතුවෙන් පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව ඊශ්‍රායල වාර්තා කර තිබේ.

-------------------

Update 06:32 PM

දකුණු ලෙබනනයේ සිදොන් දිස්ත්‍රික්කයේ පිහිටි සක්සකියේ නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් සිව්දෙනෙකු මියගොස් තවත් අටදෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනනය වාර්තා කර ඇත.

ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටි නේවාසික නිවසකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

---------------------

Update 06:15 PM

අමෙරිකානු - ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ වූ දා සිට ඉරානය තුළ විශාල වශයෙන් ක්‍රිප්ටෝ මුදල් සංසරණය වෙමින් පවතින බව වාර්තා වේ. 

---------------------

Update 06:00 PM

ඉදිරි දින කිහිපය තුළ මැදපෙරදිග කලාපයේ තත්ත්වය ස්ථාවර වීමට වඩා නව ගැටුම් උත්සන්න වීමක් සිදුවීමට වැඩි ඉඩකඩක් ඇති බව පෝලන්ත අග්‍රාමාත්‍ය ඩොනල්ඩ් ටුස්ක් ප්‍රකාශ කර තිබේ.

-------------------

Update 05:25 PM

හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා ඉරානයට ලබා දී තිබූ කාලය ජනාධිපති ට්‍රම්ප් විසින් දීර්ඝ කළද, එය තෙල් මිල පාලනය කිරීමට හෝ රජයේ බැඳුම්කර ස්ථාවර කිරීමට අපොහොසත් වී ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් ගෝලීය කොටස් වෙළඳපොළ දර්ශක යළිත් පහත වැටී තිබේ.

---------------

Update 05:10 PM

අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ වූ දා සිට මේ දක්වා ඉරානය තුළ පුද්ගලයන් 1,900කට අධික පිරිසක් මියගොස් ඇති අතර අවම වශයෙන් 20,000ක් පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ.

---------------

Update 05:00 PM

කටාර් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය සහ විදේශ අමාත්‍යවරයා, ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් හමුවී සාකච්ඡා පවත්වා ඇත.

ඒ වොෂින්ටන් ඩී.සී. නුවර සිදුකරන සංචාරයක් අතරතුරදී ය.

-----------------

Update 04:39 PM

ලෙබනනයේ හව්ටා අල්-ගදීර් ප්‍රදේශයට අද (27) අලුයම ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
-----------------

Update 04:16 PM

ලෙබනනය තුළ ඊශ්‍රායලය සිදුකරන ගුවන් ප්‍රහාර සහ ගොඩබිම් ආක්‍රමණය හේතුවෙන් දරුවන්ට විඳීමට සිදුව ඇති දරුණු බලපෑම පිළිබඳව යුනිසෙෆ් සංවිධානය අනතුරු අඟවා ඇත.

ලෙබනනයේ යුනිසෙෆ් නියෝජිත මාර්කෝලුයිගි කෝර්සි ප්‍රකාශ කළේ, මේ මාසයේදී ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර තීව්‍ර වීම නිසා අවම වශයෙන් දරුවන් 121දෙනෙකු මියගොස් තවත් 399දෙනෙකු තුවාල ලබා ඇති බවය.

එසේම, ලෙබනනයේ භූමියෙන් 14%ක් පමණ ආවරණය වන පරිදි ඊශ්‍රායලය විසින් නිකුත් කර ඇති ප්‍රදේශවලින් ඉවත් වීමේ නියෝග හමුවේ, දරුවන් 370,000කට අධික පිරිසකට තම නිවාස අතහැර යාමට සිදුව ඇති බව ද කෝර්සි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

---------------------

Update 04:10 PM

යුක්රේනය සහ සෞදි අරාබිය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ වැදගත් එකඟතාවකට පැමිණ ඇති බව යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy පවසයි.

------------------

Update 04:05 PM

ඊශ්‍රායලයේ දකුණුදිග ප්‍රදේශයට, ඉරානය විසින් මීට සුළු මොහොතකට පෙර මිසයිල ප්‍රහාර එල්ල කර තිබේ. 

එහිදී එල්ල වූ එක් මිසයිලයක් සාර්ථකව විනාශ කර ඇති අතර ඉන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැත. 

------------------

Update 03:45 PM

පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාම සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය අඩාල වීමට එරෙහිව පිලිපීන ජනතාව වීදි බැස විරෝධතාවල නිරත වන බව වාර්තා වේ.

මීට මාසයකට පෙර යුද්ධය ආරම්භ වූ දා සිට පිලිපීනය තුළ ඩීසල් සහ පෙට්‍රල් මිල දෙගුණයකට වඩා වැඩි වී ඇත. 
 
මේ හේතුවෙන් එරට ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් පසුගිය අඟහරුවාදා "ජාතික බලශක්ති හදිසි අවස්ථාවක්" ද ප්‍රකාශයට පත් කර තිබේ.

-------------------

Update 03:13 PM

යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා ඉරානයේ සිට එල්ල කරන ලද බැලස්ටික් මිසයිල 154ක් සහ ඩ්‍රෝන ප්‍රහාරක යානා 362ක් තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් සාර්ථකව විනාශ කර ඇති බව බහරේන හමුදාව පවසයි.

-----------------

Update 02:31 PM

රියාද් කලාපය ඉලක්ක කර ගනිමින් බැලස්ටික් මිසයිල හයක් එල්ල කර ඇති බව සෞදි අරාබි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ඉන් මිසයිල දෙකක් ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ බවත්, ඉතිරි මිසයිල හතර ජනශුන්‍ය ප්‍රදේශවලට හෝ පර්සියානු ගල්ෆ් මුහුදට පතිත වූ බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

-----------------

Update 02:25 PM

අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මේ දක්වා ගුරුවරුන් සහ සිසුන් 250ක් ජීවිතක්ෂයට පත්ව ඇත.

එමෙන්ම මෙම ප්‍රහාරවලින් අධ්‍යාපනික සහ සංස්කෘතික මධ්‍යස්ථාන 723කට හානි සිදුව ඇති බවද සඳහන් වේ.

පෙබරවාරි 28 වන දින යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා අවම වශයෙන් පුද්ගලයින් 1,937ක් පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 
----------------

Update 02:15 PM

කලාපයේ ඇමරිකානු හමුදා ස්ථානගත කර ඇති ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ඉරානය සිවිල් වැසියන්ගෙන් හදිසි ඉල්ලීමක් කර ඇත. 

ඔවුන් පවසන්නේ ඇමරිකානු හමුදා "හමුවන ඕනෑම තැනකදී" ඔවුන්ට ප්‍රහාර එල්ල කිරීම තමන්ගේ "යුතුකමක් සහ වගකීමක්" බවය.

---------------------

Update 01:50 PM

අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ අද (27) ප්‍රංශයේ පැවැත්වෙන G7 සමුළුවට සහභාගී වීමට නියමිත එහිදී ඉරාන යුද්ධය පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

G7 සාමාජික රටවල් වන එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය සහ ඉතාලිය ඇතුළු නේටෝ සාමාජික රටවල් මෙම ගැටුමට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම සිදුකළ විවේචන හමුවේ මෙම හමුව පැවැත්වේ. 

-------------------------

Update 01:40 PM

Update 01:40 PM

මිසයිල සහ බෝම්බ නිෂ්පාදනය කරන ඉරානයේ ප්‍රධාන මධ්‍යස්ථානයකට තමන් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව පවසයි.

ඊශ්‍රායල ආරක්ෂක බළකාය ප්‍රකාශ කරන්නේ, ඉරාන නාවික හමුදාවට අයත් මිසයිල සහ බෝම්බවලින් බහුතරයක් නිපදවන මධ්‍යම ඉරානයේ යාස්ඩ් (Yazd) ප්‍රදේශයේ පිහිටි ස්ථානයකට එරට ගුවන් හමුදාව මෙලෙස පහර දුන් බවය.

------------------

Update 12:55 PM

ගෝලීය වශයෙන් මතුව ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ඉන්ධනහල් සිය ගණනක් වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උද්ගත වූ තත්ත්වයත් සමඟ ඉන්ධන සඳහා වන ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් එරට ඉන්ධනහල් රැසක තොග අවසන් වී ඇති බව වාර්තා වේ.

යුද ගැටුම් ආරම්භයෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල ගණන් ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර ඉන්ධන මිලදී ගැනීම සඳහා අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නා ලෙස බලධාරීන් විසින් එරට වැසියන්ට දැනුම්දීමක් ද සිදුකර තිබුණි.

මෙම තත්ත්වය තුළ ඇතැම් ඉන්ධන හල් වෙතින් ඉන්ධන නිකුත් කිරීමට සීමා පනවා ඇති බව ද සඳහන් වේ.

මේ අතර මැදපෙරදිග යුද ගැටුම් තවදුරටත් පවතින්නේ නම් එමගින් ඇති වන බලපෑම ද දරුණු වනු ඇති බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ප්‍රකාශ කර ඇත.
------------------

Update 12:35 PM

බහරේනය තුළ අනතුරු ඇඟවීමේ සයිරන් සක්‍රීය කර ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

එම අමාත්‍යාංශය ජනතාවට සහ පදිංචිකරුවන්ට ඉල්ලා සිටින්නේ සන්සුන්ව සිටීමටත්, ආසන්න ආරක්ෂිත ස්ථානයකට ගමන් කිරීමටත්, නිල මාධ්‍ය ඔස්සේ ලබාදෙන යාවත්කාලීන තොරතුරු අනුගමනය කිරීමටත්ය.
 

-----------------

Update 12:00 PM

කටාර් හි හදිසි සේවා අංශ විසින් අද (27) නැවතත් ඉහළම ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සතියකින් පසු නිකුත් වූ මෙම අනතුරු ඇඟවීම රට පුරා ජංගම දුරකථන වෙත හදිසි ශබ්ද සහිත පණිවිඩයක් ලෙස යවා ඇති අතර, ජනතාවට නිවෙස් තුළ රැඳී සිටීමටත් ජනේලවලින් දුරස්ව සිටින ලෙසත් උපදෙස් ලබා දී ඇත.

මෙම අනතුරු ඇඟවීම මගින් මිසයිල් හෝ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ඉඟියක් දක්වන බවද සඳහන් වේ.

-----------------

Update 11:30 AM

කුවේට් නගරයට ආසන්න ෂුවයික් වරාය ඉලක්ක කරමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බව කුවේට් වරාය අධිකාරිය පවසයි.

අද (27) උදෑසන මෙම ප්‍රහාරය එල්ල වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. 

එම ප්‍රහාරයෙන් වරායට දේපළ හානි සිදුව ඇති නමුත්, කිසිදු ජීවිත හානියක් හෝ තුවාල සිදුවීමක් වාර්තා වී නොමැති බවද එම අධිකාරිය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
-----------------

Update 10:55 AM

මැදපෙරදිග කලාපයට තවත් අමතර දස දහසක හමුදා භට පිරිසක් යෙදවීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සාම සාකච්ඡා සඳහා යොමු වීමේ අවශ්‍යතාව පිළිබඳ අවධානය යොමු කර ඇති බවට ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති තත්ත්වයක් තුළ පවා ඔහුමෙලෙස හමුදා විකල්ප පිළිබඳව තවදුරටත් සොයාබලමින් සිටින බව 'වෝල්ස්ට්‍රීට් ජර්නල්' පුවත්පත පවසයි.

මෙම අමතර කණ්ඩායමට ගොඩබිම් හමුදා භට පිරිස් මෙන්ම සන්නද්ධ රථ ඇතුළත් විය හැකි බවට එම පුවත්පත වාර්තා කර තිබේ.

කෙසේවෙතත් මෙම අමතර භට කණ්ඩායම් අනුයුක්ත කරන ප්‍රදේශය නිශ්චිතව වාර්තා වී නොමැති බව සඳහන්ය.

-----------------

Update 10:12 AM

ඉරානයේ න්‍යෂ්ටික අනතුරක් සිදුවීම වළක්වා ගැනීම සඳහා "උපරිම සංයමයකින්" කටයුතු කරන ලෙස ජාත්‍යන්තර පරමාණු ශක්ති ඒජන්සිය (International Atomic Energy Agency) ඉල්ලීමක් කර තිබේ.

මෙම අනතුරු ඇඟවීම සිදු වී ඇත්තේ අඟහරුවාදා ඉරානයේ බුෂෙහර් න්‍යෂ්ටික බලාගාරය ආසන්නයට ප්‍රහාරයක් එල්ල වූ බවට වාර්තා පළවීමෙන් අනතුරුවය.

එම බලාගාරය සක්‍රීයව ක්‍රියාත්මක වන න්‍යෂ්ටික ස්ථානයක් බැවින්, එහි හානියක් සිදුවුවහොත් ඉරානය තුළ පමණක් නොව ඉන් ඔබ්බට විශාල ප්‍රදේශයකට බලපාන බරපතල විකිරණශීලී අනතුරක් සිදුවිය හැකි බව IAEA අධ්‍යක්ෂ ජනරාල් Rafael Mariano Grossi අවධාරණය කර ඇත.

-----------------

Update 9:00 AM

ආසියානු වෙළෙඳපොළේ අද (27) පෙරවරුව වන විට බොරතෙල් මිලෙහි සුළු පහළ යෑමක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.2%කින් පහළ ගොස් අමෙරිකානු ඩොලර් 106.76ක් ලෙස සටහන් වී ඇති අතර, අමෙරිකානු බොරතෙල් (WTI) මිලද 1.1%කින් පහළ ගොස් ඩොලර් 93.41ක් ලෙස වාර්තා වේ.

මෙම මිල පහළ යෑම සිදුව ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමකට දී තිබූ තාවකාලික විරාමය දින 5 සිට සති 2 දක්වා දීර්ඝ කිරීමෙන් අනතුරුවය.

එසේම, මර්බන් (Murban) බොරතෙල් බැරලයක මිල ඊයේ දිනයට සාපේක්ෂව ඉහළ ගොස් ඇති අතර එය ඩොලර් 111.81ක් ලෙස සටහන් වී තිබේ.

-----------------

Update 8:15 AM

ඉරානයේ කොම් නගරයේ නේවාසික නිවාස තුනක් ඉලක්ක කරමින් එල්ල කළ එක්සත් ජනපද-ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් හය දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව තවමත් නිශ්චිතව අනාවරණය වී නොමැති බව කොම්හි නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර ඇත.

-----------------

Update 7:40 AM

අවසන් පැය කිහිපය තුළ කුවේට්හි හදිසි අනතුරු ඇඟවීම් 'සයිරන්' ශබ්ද වී ඇති අතර, එමෙන්ම පිපිරීම් ශබ්දද ඇසුණු බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

කුවේට් ජාතික ආරක්ෂක බළකාය ප්‍රකාශ කර ඇත්තේ, එම අවස්ථාවේදී ප්‍රහාරයක් ලෙස පැමිණි ඩ්‍රෝන දෙකක් සාර්ථකව විනාශ කළ බවය.

-----------------

Update 6:25 AM

ලෙබනනයේ, බේරූට්හි දකුණු තදාසන්න ප්‍රදේශවලට අද (27) අලුයම ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හිස්බුල්ලා සංවිධානයේ බලකොටුවක් ලෙස සැලකෙන එම ප්‍රදේශය තුළ පිපිරීම් කිහිපයක් ඇසුණු බවද සඳහන්ය.

සිද්ධියෙන් අනතුරුව එම ප්‍රදේශයෙන් දුමාරය ඉහළට නැඟෙන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

-----------------

Update 5:55 AM

ඉරාන බලශක්ති බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීම තවත් දින 10ක කාලයක් සඳහා නැවැත් වීමට තීරණය කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රමි පවසයි.

ඉරානය සමග සාකච්ඡා අඛණ්ඩව පවත්වන බැවින් මෙම තීරණය ගෙන ඇති  බව විදෙස් මාධ්‍ය වාර්තාකළේය.

පසුගිය සඳුදා දින අමෙරිකානු ජනාධිපතිවරයා විසින් දින පහක සටන් විරාමයක් ප්‍රකාශයට පත්ක් කරනු ලැබීය.

කෙසේවෙතත් ඊයේ දින සිය ටෘත් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රමි පැවසුවේ ඉරාන රජයේ ඉල්ලීම පරිදි බලශක්ති බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීමේ කාලය ලබන අප්‍රේල් මස හයවන සදුදා රාත්‍රී 8වන තෙක් දින 10ක කාලයක් සඳහා නවතා දැනීමට තීරනය කල බවය.

-----------------