
ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් විදුලි ගාස්තුවද ළඟදීම ඉහළ නැංවීමට තීරණය කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
වැඩි වූ ඉන්ධන මිලට සාපේක්ෂව විදුලිය ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා යන වියදම රුපියල් 21 දක්වා ඉහළ ගොස් ඇති බව විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.සී.ෆර්ඩිනෑන්ඩස් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
එහෙත් විදුලි ඒකකයක් පාරිභෝගිකයන්ට ලබාදෙන්නේ රු.3.00 ක් වැනි මුදලකට බවත්,මේ හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන ගණනක පාඩුවක් සිදුවන බවත් හෙතෙම එහිදී පෙන්වාදුන්නේය.
ඒ අනුව විදුලි මිල සංශෝධනයක් සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් වන මහජන උපයෝගිතා කොමිසම වෙත තොරතුරු ලබාදී තිබේ.
එම තොරතුරු සැලකිල්ලට ගනිමින් මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිය ගාස්තු සංශෝධනය කිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතය.
















































