හර්ෂ අබේවික්‍රම ධුරයෙන් ඉවත් කිරීම ගැන ඇමති කරුණු පහදයි

හර්ෂ අබේවික්‍රම ධුරයෙන් ඉවත් කිරීම ගැන ඇමති කරුණු පහදයි

January 31, 2026   12:24 pm

හර්ෂ අබේවික්‍රම මහතා ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ධූරයෙන් ඉවත් කිරීම එම සමාගමේ පරිපාලනමය ව්‍යූහයේ සිදු කළ යුතු වෙනස් කිරීම්වලට අදාළව ගත් තීරණයක් බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන තොරතුරු අසත්‍ය බවය. 

ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස හිමි වෙත නිකුත් කර තිබූ ගුවන්තොටුපොළ පර්යන්තයට ඇතුළු වීමේ විශේෂ අවසර පත්‍රයේ කාලය දීර්ඝ කිරීමට අදාළ ලිපියක් පාදක කරගනිමින් හර්ෂ අබේවික්‍රම මහතා ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති ධූරයෙන් ඉවත් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තාවී තිබුණි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඊයේ (30) නිවේදනයක් නිකුත් කරමින් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේ, උපතිස්ස හිමිගේ ඉල්ලීමට අදාළව සුදුසු කොන්දේසි සහිතව අවසර ලිපියක් නිකුත් කිරීමට අමාත්‍යවරයාගේ උපදෙස් මත හිටපු සභාපති හර්ෂ අබේවික්‍රම මහතා පියවර ගෙන ඇති බවය.

අදාළ කරුණ පිළිබඳ අමාත්‍යවරයා සහ හිටපු සභාපතිවරයා අතර කිසිදු මත ගැටුමක් සිදුවී නොමැති බවද අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ හේතුවෙන් හර්ෂ අබේවික්‍රම මහතා සභාපති ධුරයෙන් ඉවත් කිරීමට අදාළ ලිපිය කිසිදු සම්බන්ධයක් නොමැති බවය වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා,

"විවිධ සාකච්ඡාවන් ඇවිල්ලා තියනවා සමාජය තුළ...අදාළ සිද්ධිය සහ පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ට නිකුත් කර තිබූ අවසර පත්‍රය අතර කිසිම සම්බන්ධයක් නැහැ...මේ ලියුම සම්බන්ධයෙන් සභාපතිවරයා සහ අමාත්‍යවරයා හැටියට මම අතර කිසිම මත ගැටුමක් නැහැ..මම ඉල්ලීම කළ මොහොතෙදී ගුවන්තොටුපොළ අධිකාරිය පැත්තෙන් පැහැදිලි කිරීමක් තිබුණා. මම ඒක පිළිගත්තා...නමුත් ස්වාමීන්වහන්සේගේ අවශ්‍යතාවය ඉෂ්ඨවෙන විදිහට අවසර ලිපියක් නිකුත් කරන්න කියලා උපදෙස් දුන්නා.අධිකාරිය ඒ අනුව කටයුතු කළා..ඒ සිද්ධිය එතනින් අවසන්...මේක සිද්ධ වුණේ ජනවාරි මුල් සතියේ..ඊට පස්සේ අපිට අවශ්‍යතාව තිබුණා පරිපාලනයේ වෙනසක් කරන්න...ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් තිබුණා 21 වැනිදා. ඒ වෙලාවෙදි මම කිව්වා අපිට වෙනසක් කරන්න ඕනා කියලා....එහි ප්‍රතිඵලයක් විදිහට  සභාපතිවරයා එම ධුරයෙන් ඉවත් කරන්න කටයුතු කළා."