රුපියල් කෝටි 300ක හෙරොයින් සහ අබිං පුත්තලමේදී විනාශ කෙරේ
January 2, 2026 05:10 pm
රුපියල් කෝටි 300කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් සහ අබිං මත්ද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත පිහිටි අධි දහන උඳුනේ දමා විනාශ කිරීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝධරගම මහතා ඉදිරියේදී අද (02) සිදුවිය.
මෙලෙස විනාශ කිරීම සිදුවූයේ පසුගිය 2021 වසරේ සැප්තැම්බර් මාසයේ මඩකලපුව කොට්ඨාස අපරාධ කාර්යාංශයට ලද තොරතුරක් මත නාවික හමුදාවේ සහාය ඇතිව පසුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත ලබා දී තිබූ හෙරොයින් කිලෝ 106 ග්‍රෑම් 248ක් සහ අබිං මත්ද්‍රව්‍ය ග්‍රෑම් 90.5කි.
අදාළ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධව පැවැති නඩු කටයුතු අවසන් වීමෙන් පසුව මෙම මත්ද්‍රව්‍ය විනාශ කර දැමීමට අධිකරණය නියෝග කර තිබුණි.
ඒ අනුව මෙම මත්ද්‍රව්‍ය තොගය අද දින උදෑසන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් මත්ද්‍රව්‍ය තොගය භාර ගැනීමෙන් අනතුරුව දැඩි පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව සහිතව වනාතවිල්ලුව වෙත රැගෙන ඒම සිදුවිය.
එලෙස රැගෙන ආ හෙරොයින් සහ අබිං මත්ද්‍රව්‍ය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලදාරීන්ගේ පරීක්ෂාවෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝධරගම මහතා ඉදිරියේදී මත්ද්‍රව්‍ය දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ අධීක්ෂණයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්.එන්.එම්.සි.හේරත් මහතාගේ මෙහෙයවිමේන් අදාළ දහන උඳුනේ දි විනාශ කිරීම සිදුවිය.
මෙම අවස්ථාවට අදාළ දහන උදුන ප්‍රදේශය හා එම මත්ද්‍රව්‍ය තොගය රැගෙන ආ මාර්ගය දෙපස දැඩි පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබුණි.
