හෙට කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

හෙට කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

December 30, 2025   07:00 am

2026 නව වසර සැමරීම සඳහා හෙට (31) දින කොළඹ නගරය වෙත පිට පළාත් වලින් නව වසර උදාව සැමරීම සඳහා විශාල ජනතාවක් සහ රථවාහන ප්‍රමාණයක් කොළඹ නගරය වෙත විශේෂයෙන් ගාලු මුවදොර ප්‍රදේශය වෙත පැමිණිම අපේක්ෂා කරන බව පොලීසිය පවසයි.

එබැවින් එසේ පැමිණීමේ දී ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා හා එම ජනතාවගේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ රථවාහන සැලැස්මක් හා ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

නව වසර උදාව හේතු කොට ගෙන විශේෂයෙන් කොළඹ නගරයේ කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය හා කුරුඳුවත්ත යන පොලිස් වසම් වල මෙසේ අධික රථවාහන තදබදයක් ඇතිවිය හැකි බවට අපේක්ෂා කරනු ලැබේ.

එසේ වුවද, හෙට දිනයේ මෙම පොලිස් වසම් වල සාමාන්‍ය පරිදි රථවාහන ගමනාගමනය සිදු කරන අතර අධික රථවාහන තදබදයක් ඇතිවන අවස්ථා වලදි පමණක් අවස්ථානුකූලව පහත පරිදි රථවාහන ගමනාගමනය සිදු කිරීමට සැලසුම් කර ඇත.

ගාලු මැද පාර ඔස්සේ කොළඹින් පිට වීම - එන්.එස්.ඒ. වටරවුම, ගාලු මැද පාර, බාලදක්ෂ මාවත හන්දියෙන් වමට (එම් ඕඩී හන්දිය) බාලදක්ෂ මාවත, අලියා නාන වටරවුම, මාකන් මාකර් මාවත, ගාලු මුවදොර වටරවුම ඔස්සේ කොල්ලුපිටිය දෙසට ගමන් කිරීම.

ගාලු මැද පාර, ගාලුමුවදොර වටරවුම සිට කොළඹට ඇතුළු වන රථ වාහන බාලදක්ෂ මාවත හන්දිය දක්වා සහ ඉන් ඉදිරියට ගමන් කිරීම.

ගාලු මුවදොර වටරවුමේ සිට මාකන් මාකර් මාවත ඔස්සේ අලියා නාන වටරවුම දෙසට හෝ අලියා නාන වටරවුම දෙස සිට බාලක්ෂ මාවත ඔස්සේ ගාලු මැද පාරට ගමන් කල නොහැකි බව දැනුම් දී තිබේ.

බාලදක්ෂ මාවතේ අතුරු මාර්ග වලින් පැමිණෙන සියලු වාහන දකුණට හරවා අලියා නාන වටරවුම ඔස්සේ කොළඹින් පිටවිය හැකි අතර ගාලු මැද පාරට අතුරු මාර්ග වලින් ඇතුළු වන සියලුම වාහන දකුණට හරවා එන් එස් ඒ වටරවුම දෙසට ගමන් කිරීම.

ඉහත රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදි කොළඹ නගරයේ පදිකවේදිකා මත සහ ප්‍රධාන මාර්ගයන් අවහිර වන ලෙස කිසිඳු රථ වාහනයක් නවතා තැබීමට ඉඩ ලබා නොදෙන අතර එවැනි ආකාරයට රථවාහන නීති උල්ලංඝණය කරනු ලබන රියදුරන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලැබේ.

මෙම රථවාහන හා ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 1,200 ක් පමණ ප්‍රමාණයක් යෙදවීමට සැලසුම්කර ඇත.

මෙසේ කොළඹට පැමිණෙන රථවාහන පහත සඳහන් රථගාල් වල ගාල් කර තැබීමේ පහසුකම් සලසා ඇති අතර එම රථගාල්වල රථවාහන 5,900 කට පමණ ගාල් කිරීමේ පහසුකම් සලසා ඇත.

* පහත සඳහන් නිදහස් රථගාල් හා මාර්ග දෙපස මුදල් අයකර ගැනීමකින් තොරව රථවාහන අවහිරතා ඇති නොවන පරිදි ගාල්කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇත.

  • කොටුව පොලිස් වසමේ බාලක්ෂ මාවත එම්. ඕ. ඩී රථගාල (බේරේ වැව දෙසට)
  • කොල්ලුපිටිය / බම්බලපිටිය / වැල්ලවත්ත මුහුදුබඩ මාර්ග
  • කොටුව හා මරදාන පොලිස් වසම් වල ඩී.ආර්.විජේවර්ධන මාවත
  • කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ පාසන්ස් පාර පිටවීමේ තීරුව පමණක්
  • ගාලු පාර වැල්ලවත්ත සැවෝයි අසල සිට ගාලු පාර බගතලේ පාර හන්දිය දක්වා රථ නැවතුම් ස්ථාන වල (Parking Bays)පමණක්
  • කුරුඳුවත්ත පොලිස් වසමේ ආනන්ද කුමාරස්වාමි මාවත නෙළුම් පොකුණ වටරවුමේ සිට පුස්තකාල වටරවුම දෙසට ඇතුළු වීමේ තීරුව (වම්පස)
  • කුරුඳුවත්ත පොලිස් වසමේ එෆ්. ආර්. සේනානායක මාවත
  • කුරුඳුවත්ත පොලිස් වසමේ රීඩ් මාවත රීඩ් රාජකාරී හන්දියේ සිට රීඩ් මාවතරීඩ් තර්ස්ටන් හන්දිය දක්වා මාර්ගයේ දකුණු පස
  • කුරුඳුවත්ත පොලිස් වසමේ නිදහස් මාවත නිදහස් වටරවුමේ සිට නිදහස් චතුරස්‍රය දක්වා මාර්ගයේ දකුණු පස
  • කුරුඳුවත්ත පොලිස් වසමේ මෙට්ලන්ඩ් පෙදෙස
  • කුරුඳුවත්ත පොලිස් වසමේ පදනම් ආයතනය පාර

* පහත සඳහන් රථගාල් සහ මුදල් අයකිරීමේ පදනම මත රථගාල් කිරීම සඳහා අවස්ථාව සලසා ඇත.

  • පිට කොටුව පොලිස් වසමේ බැස්ටියන් මාවත පරණ මැනිං වෙළඳ සංකීර්ණ රථගාල
  • කොටුව පොලිස් වසමේ විමලධර්මසූරිය ඔර්ලෝසු කණුව අසල රථගාල
  • කොටුව පොලිස් වසමේ රාසික් ෆරීඩ් මාවත හේමාස් රථගාල
  • ඩී. ආර්. විජේවර්ධන මාවත ලේක් හවුස් රථගාල
  • කොටුව පොලිස් වසමේ ලේඩ්න් බැස්ටියන් මාවත
  • කොටුව පොලිස් වසමේ බ්‍රිස්ටල් වීදිය
  • කොටුව පොලිස් වසමේ ඩියුක් වීදිය
  • කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ යූනියන් පෙදෙස ඩෝසන් වීදිය හන්දිය ඇක්සස් ටවර් රථගාල
  • මරදාන පොලිස් වසමේ ගාමිණි වටරවුම - St' Clement රථගාල

මෙම සැලැස්මට අනුව රථවාහන ගමන් කිරීම සම්බන්ධ වූ සිතියම් 04 ක් පහතින් දැක්වේ.