ජයිශංකර් සහ අගමැති හරිනි අතර හමුවක්
December 23, 2025 02:26 pm
මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා සහ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (23) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි.
මෙම සාකච්ඡාවේදී දුම්රිය මාර්ග, පාලම් නැවත ගොඩනැගීම සහ රටේ කෘෂිකාර්මික අංශය ශක්තිමත් කිරීම සඳහා සහාය වීම ඇතුළුව ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දීමට ඇති සූදානම ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී තහවුරු කළේය.
ශක්තිමත් පරිපාලන ක්‍රියාමාර්ගයන් සහ ආයතනික රාමු හරහා ආපදා තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා ඵලදායී පද්ධති ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද ඔහු මෙහිදී අවධාරණය කළේය.
ඉදිරියට ගෙන යන සහන කටයුතු මෙන්ම ආපදා තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීම සහ රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා දෙරටේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ ව ද මෙහිදී අවධානය යොමු විය.
දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියේ දී සහන මෙහෙයුම්වලට අමතරව නැවත පදිංචි කිරීම සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම වැනි දිගුකාලීන පියවර ඇතුළත් බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය ඉන්දීය රජය විසින් ලබා දෙන අඛණ්ඩ සහයෝගය ඇගයීමට ලක් කළා ය.
රට යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියේ අදියරක් ලෙස සමීප අධීක්ෂණයක් ඇතිව පාසල් නැවත විවෘත කිරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍යවරිය තවදුරටත් ප්‍රකාශ කළාය. මෙම හදිසි ආපදා තත්ත්වය හමුවේ ජනතාව ලබා දුන් ස්වේච්ඡා සහභාගිත්වය සහ සාමූහික ක්‍රියාමාර්ග පිළිබඳ සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය ස්ථාවරත්වය සහතික කිරීම, අවදානම අඩු කිරීම සහ ආරක්ෂක යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද අගමැතිනිය මෙහිදී අවධාරණය කළාය.
මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් Santosh Jha මහතා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (IOR) Puneet Agrawal මහතා, ඒකාබද්ධ ලේකම් (EAMO) Sandeep Kumar Bayyapu මහතා, නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය Satyanjal Pandey මහතා සහ ශ්‍රී ලංකා දූත පිරිස නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (දකුණු ආසියාව) සමන්ත පතිරණ මහතා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ දකුණු ආසියානු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩයනා පෙරේරා මහත්මිය යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
