ෂකිබ්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ෂකිබ්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

December 8, 2025   12:05 am

ජාත්‍යන්තර ටෙස්ට් හා විස්සයි20 ක්‍රිකට් පිටියට සමුදුන් බංග්ලාදේශ හිටපු නායක ෂකිබ් අල් හසන් සිය තීරණය වෙනස්කර තිබේ.

මේ වනවිට වසරකට වැඩි කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාකර නොමැති ඔහු, බංග්ලාදේශය නියෝජනය කරමින් ආකෘති තුනම ක්‍රීඩා කිරීමට කැමති බව 'Beard Before Wicket' නම් යූටියුබ් නාලිකාව හා එක්ව පවසා ඇත.

"මම නිල වශයෙන් සියලුම ආකෘතිවලින් විශ්‍රාම ගිහින් නෑ. මම ඒ බව හෙළිකරන පළමු අවස්ථාව මේ. මගේ බලාපොරොත්තුව බංග්ලාදේශයට ආපසු ගිහින් එක්දින, ටෙස්ට් සහ විස්සයි20 සම්පූර්ණ තරගාවලියක් ක්‍රීඩා කර විශ්‍රාම ගැනීමට" ෂකිබ් එහිදී පැවසීය.

"මට සියලුම ආකෘතිවලින් මගේ රටේදී විශ්‍රාම ගැනීමට අවශ්‍යයි. ඒ නිසා මට සම්පූර්ණ තරගාවලියක් ක්‍රීඩාකර විශ්‍රාම යාමට අවශ්‍යයි". 

අවාමි ලීග් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන ෂකීබ්, එම රජය බලයෙන් පහ කිරීමෙන් පසු 2024 මැයි මාසයේ සිට බංග්ලාදේශයට ආපසු පැමිණ නැත. 

ඒ වනවිට ඔහු බංග්ලාදේශයට නොපැමිණියද, මිනීමැරුම් චෝදනාවකට ඔහු නම් කරන ලදී . ඉන්පසු බංග්ලාදේශය නියෝජනය කරමින් ඔහු පාකිස්තානයේ සහ ඉන්දියාවේ ටෙස්ට් තරග ක්‍රීඩාකළත් සිය රටට නොගියේය.

මෙහිදී බංග්ලාදේශයට නැවත යන්නේ දැයි විමසූ විට ෂකීබ් පැවසුවේ, "මම බලාපොරොත්තු සහගතයි. ඒ නිසා මම විස්සයි20 ලීග් ක්‍රීඩා කරනවා. මම හිතන්නේ ඒක වෙයි" යනුවෙන් පැවසීය.

"මට හිතෙන්නේ රසිකයින්ට සමුදෙන්න මේක හොඳ ක්‍රමයක්. ඔවුන් මට සැමවිටම සහයෝගය දැක්වූවා. ඒ නිසා ඔවුන්ට යමක් ආපසු ලබාදීමට අවශ්‍යයි".

ඔක්තෝබර් මාසයේදී බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිතව තිබූ දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියේදී තම අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට ශකිබ් කැමැත්තෙන් පසුවිය.

කෙසේ නමුත් තරගාවලියට පෙර ෂකිබ්ට එරෙහිව ඩකාහි විරෝධතා ඇතිවිය.  

ඒ හේතුවෙන් බංග්ලාදේශ අන්තර්වාර රජයට ඔහුට ආරක්ෂිතව රටින් පිටවීම සහතික කළ නොහැකි වූ නිසා, දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරග සඳහා ෂකිබ්ව අතහැර දැමීමට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය කටයුතු කළේය.

මේ වසර මුලදී බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරියෙකු පැවසුවේ ෂකිබ් බංග්ලාදේශ කණ්ඩායමට නැවත පැමිණීම සාදරයෙන් පිළිගන්නා බවය.

2006 වසරේ සිට බංග්ලාදේශය නියෝජනය කරන ශකීබ් ටෙස්ට් ලකුණු 4,609ක් (100/5, 50/31), එක්දින ලකුණු 7,570 (100/9, 50/56) හා විස්සයි20 ලකුණු 2,551 (50/13) රැස්කර ඇත.

ඊට අමතරව ටෙස්ට් කඩුලු 246ක්, එක්දින කඩුලු 317ක් හා විස්සයි20 කඩුලු 149කටද ඔහු හිමිකම් කියයි.