හෙට සිට වැසි වැඩිවෙන ලකුණු

හෙට සිට වැසි වැඩිවෙන ලකුණු

November 23, 2025   12:25 pm

හෙට දිනයේ සිට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපයේ බලපෑමෙන් මෙම තත්ත්වය අපේක්ෂා කරන බවය. 

එමෙන්ම ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

එම නිවේදනය අද (23) රාත්‍රී 11.30 දක්වා වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුරය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි. 

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ආපදා තත්ත්වයන් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසන්නේ, ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් ඇති බැවින් පහත් බිම් ප්‍රදේශවල පදිංචිකරුවන් ඒ පිළිබද විමසිලිමත් විය යුතු බවය.