ඊ වීසා ගනුදෙනුව ගැන ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් කැඳවීමට දිනදෙයි
November 20, 2025 01:43 pm
ඉකුත් රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම් වලට පැවරීමට හිටපු අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්දිරන්, පාටලී චම්පික රණවක සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පෙබරවාරි මස 09 වනදා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (20) අචල වෙංගප්පුලි, සම්පත් අබේකෝන් සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ එම නඩුකරවල පළමුවන වගඋත්තරකරු ලෙස නම් කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා වෙනුවෙන් පෙනී සිටීම සඳහා ඉදිරිපත් කර තිබූ "පෙරකළාසිය" ඉවත් කරගන්නා බවය.
ඒ අනුව එම වගඋත්තරකරු වෙනුවෙන් නීතිපතිවරයා තවදුරටත් පෙනී නොසිටින බවත් ඇය අධිකරණයට දැනුම් දුන්නාය.
ඉන් අනතුරුව වගඋත්තරකරුවන් කීප දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය සදහා රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් තමන්ට නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට කාලය අවශ්‍ය බව දන්වා සිටියහ.
ඒ අවස්ථාවේදී පෙත්සම්කාර හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ඊ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විසින් සම්මත කළ යෝජනාවකට අනුව රජයේ විගණකාධිපතිවරයා විසින් විගණනයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළේය.
ඉකුත් වසරේ අප්‍රේල් මස 17 වනදා සිට අගෝස්තු මස 02 වනදා දක්වා මෙම ඊ වීසා ක්‍රියාවලිය ක්‍රියාත්මක වූ කාලසීමාව තුළ රටට සිදුවූ හානිය පිළිබඳව රජයේ විගණකාධිපතිවරයා එම වාර්තාව තුළින් සවිස්තරව කරුණු දක්වා ඇතැයි සඳහන් කළ පාටලී චම්පික රණවක මහතා එවැනි වාර්තාවක් ඉදිරිපත් කිරීමට රජයේ විගණකාධිපතිවරයාට පූර්ණ බලය තිබෙන බවත් සඳහන් කළේය.
මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ද අධිකරණයට දැනුම් දුන්නේ විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ එම වාර්තාවේ සඳහන් නිර්දේශවලට අනුව කටයුතු කරන ලෙස නීතිපතිවරයා විසින් අදාල අංශවලට දැනුම් දී ඇති බවය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නඩුකරවලට අදාළව රජයේ විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන වාර්තාවේ අන්තර්ගතය පිළිබඳව අධ්‍යයනය කර ඊට අදාළව නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා වග උත්තරකාර පාර්ශවයේ නීතිඥවරුන්ට කල් ලබා දුන්නේය.
ඒ අනුව එම නිරීක්ෂණ ලිඛිතව ගොනු කරන ලෙසත් ඉන් අනතුරුව මෙම නඩුකර පෙබරවාරි මස 09 වනදා යළි කැඳවන බවද විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.
පෙත්සම්කරු කියා සිටින්නේ හා විගමන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කළ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය ඉකුත් රජය සමයේ අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව පෞද්ගලික සමාගම්වලට පැවරීමට තීන්දු කෙරුණු බවය.
එම ක්‍රියාවලිය පෞද්ගලික අංශයට පැවරීම තුළින් රජයට අතිවිශාල පාඩුවක් සිදුවූ බවත් මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට බවට තීන්දුවක් ලබා දන ලෙසත් ඉල්ලා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර ඇත.
