සූර්යවංශීලා දණ ගැස්සූ පාකිස්තාන ෂහීන්ස්ලා

සූර්යවංශීලා දණ ගැස්සූ පාකිස්තාන ෂහීන්ස්ලා

November 17, 2025   12:08 am

'ආසියානු කුසලාන නැගීඑන තරු’ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (16) පැවති තරගයකින් පාකිස්තාන ෂහීන්ස් (පාකිස්තාන A) හමුවේ කඩුලු 8ක පරාජයක් ලැබීමට ඉන්දීය A කණ්ඩායමට සිදුවිය.

මෙහි පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 19කදී සියලු දෙනා දැවී ලකුණු 136ක් රැස්කළේය.

වයිභව් සූර්යවංශී පන්දු 28කින් ලකුණු 45ක් හා නමන් ධීර් පන්දු 20කින් ලකුණු 35ක් රැස්කළත් සෙසු පිතිකරුවන්ට සාර්ථකවීමට පාකිස්තානයෙන් අවස්ථාවක් නොලැබුණි

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පාකිස්තාන ෂහීන්ස් පන්දුවාර 13.2කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 137ක් රැස්කළ ජයග්‍රහණය සම්පූර්ණ කරගත්තේය.

අද ලැබූ ජයත් සමග B කාණ්ඩයෙන් ක්‍රීඩාකරන පාකිස්තානය ක්‍රීඩාකළ තරග දෙකම ජයගනිමින් එහි ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කරගත්තේය.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ අධීක්ෂණය යටතේ මෙම තරගාවලිය කටාර් රාජ්‍යයේ දෝහා හිදී පැවැත්වේ.

තවමත් 14 හැවිරිදි වියේ පසුවන සූර්යවංශී මෙම තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවති තරගයේ දී පන්දු 42කින් ලකුණු 144ක් රැස්කිරීමට සමත් විය.

එය තරගාවලියේ මේ දක්වා කැපී පෙනෙනම ඉනිම වන අතර, ඒ වෙනුවෙන් ඔහු හයේ පහර 15ක් හා හතරේ පහර 11ක් එල්ල කළේය.