කුඩු සළිඳුගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ  කාන්තාවක් අත්අඩංගුවට

කුඩු සළිඳුගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ කාන්තාවක් අත්අඩංගුවට

November 15, 2025   04:47 pm

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පානදුරේ කුඩු සළිඳු නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ කාන්තාවක් අරුක්ගොඩ රුක්ගහ පාරේ නිවසකදී රුපියල් ලක්‍ෂ 10කට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක්, එම මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරීමට ගන්නා කුඩා ඉටි බෑග්, විද්‍යුත් තරාදියක් හා ජාවාරමට යොදාගත් ජංගම දුරකථනයක් මෙන්ම ජාවාරමෙන් උපයා ගත් බව කියන රුපියල් 36,500ක මුදලක් ද පොලීසිය සිය භාරයට ගෙන ඇත.

මීට මාස දෙකකට ඉහතදී අරුක්ගොඩ රුක්ගහ පාරෙහි නිවසකට කුලී පදනම මත පැමිණ ඇති මෙම කාන්තාව එහි සිට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන බවට "රටම එකට ජාතික මෙහෙයුමට" සමගාමීව හිරණ පොලීසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ.

සැකකාරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ පානදුරේ කුඩු සලිදු නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානතම ගෝලයෙකු වන ඩුබායි රාජ්‍යයේ සිටින 'රණයා' නැමැත්තා විසින් විවිධ පුද්ගලයන් හරහා ලබා දෙන මෙම මත්ද්‍රව්‍ය මෙලෙස පැකට් කර තමා විසින් අලෙවි කරන බවය.

27 හැවිරිදි සැකකාරිය පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.