
රටම එකට ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද විශේෂ පොලිස් මෙහෙයුම් මගින් ඊයේ (14) දිනයේදී සැකකරුවන් 1,056 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම, මත්ද්‍රව්‍යවලට ඇති ඉල්ලුම අවම කිරීම, මෙහෙයුම් පුළුල් කිරීම, ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීම, මත්ද්‍රව්‍ය දුර්භාවිතය වැළැක්වීම අරමුණු කර ගනිමින් පොලීසිය මෙම විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
ඒ අනුව ඊයේ දිනයේදී වැටලීම් 1,065ක් සිදුකර ඇති අතර එහිදී මෙම සැකකරුවන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මෙහෙයුම් තුළදී රැඳවුම් නියෝග ලබා ගත් සැකකරුවන් 39ක් ද තවත් සැකකරුවන් 53 දෙනෙක් පුනරුත්තාපනයට යොමු කිරීමටද පොලීසිය පියවර ගෙන ඇත.
තවද මෙම මෙහෙයුම් මගින් හෙරොයින් ග්‍රෑම් 331ක් ද, අයිස් කිලේ 1 ග්‍රෑම් 173ක්, ගංජා කිලෝ 03 ග්‍රෑම් 109ක් ගංජා පැල 52,165ක්, හෂීස් 332ක්, මත්පෙති 2,012, මදනමෝදක 572 මාවා කිලෝ 6 ග්‍රෑම් 44ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
මේ අතර පොලීසිය විසින් සිදුකළ දෛනික මෙහෙයුම් මත ඊයේ දිනයේදී අපරාධ සම්බන්ධයෙන් සෘජුව සැකකරුවන් 14 දෙනෙකු හඳුනාගෙන ඇති අතර වරෙන්තුකරුවන් 288 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම බීමතින් රිය ධාවනය කිරීම මත පුද්ගලයින් 27 දෙනෙකුද අපරික්ෂාකාරීව රිය පැදවීම් හේතුවෙන් පුද්ගලයින් 27 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර වෙනත් රථවාහන වැරදි සම්බන්ධව පුද්ගලයින් 4189 දෙනෙකු සඳහා නීතිමය පියවර ගැනීමටද පොලීසිය කටයුතු කර ඇත.

















































