කිරින්දෙන් ඇල්ලූ අයිස් මත්ද්‍රව්‍ය ගෙන්වූ ජාලය ගැන තවත් තොරතුරු හෙළිවෙයි
November 13, 2025 07:37 pm
තංගල්ල, කිරින්ද ප්‍රදේශයෙන් සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය ඉන්දියාවේදී මියගිය බව පැවසෙන අංගොඩ ලොක්කාගේ මත්ද්‍රව්‍ය ජාලයේ අයෙකු හා මරණ දඬුවම නියමව සිටින දෙමටගොඩ චමින්දගේ පාර්ශ්වය විසින් මෙරටට ගෙන්වා ඇති බවට පොලීසිය සැක පළ කරයි.
එම මත්ද්‍රව්‍ය මෙරටට එවූ බව කියන 'රන් මල්ලි' නැමැත්තා, මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හරක් කටාගේ මත්ද්‍රව්‍ය මෙරට තුළ ප්‍රවාහනය කළ පුද්ගලයා බව ද උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හා තංගල්ල කොට්ඨාසයේ පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 329ක් සමග සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනුණි.
මෙහෙයුම දියත් කෙරුණේ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා හා බස්නාහිර උතුර අපරාධ කොට්ඨසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ සෘජු අධීක්ෂණයෙනි.
මෙහිදී ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතා විසින් අත්අඩංගුවට ගනු ලැබූ දෙවිනුවර පදිංචිකරුවකු වන ප්‍රධාන සැකකරු සතුව තිබී සැටලයිට් ජංගම දුරකතනයක් ද සොයාගෙන තිබේ.
ඔහු විමර්ශන නිලධාරින් හමුවේ පවසා ඇත්තේ, මත්ද්‍රව්‍ය ගොඩබිමට රැගෙන ආ බෝට්ටුව පැදවූ පුද්ගලයා සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවය.
දෙවිනුවර පදිංචිව සිට පසුව කොළඹ පදිංචියට ගිය අයෙක් විසින් ලබාදුන් රුපියල් ලක්ෂ 5ක කොන්ත්‍රාත්තුවක් මත මත්ද්‍රව්‍ය ගොඩබිමට රැගෙන ආ බවත්, ඉන් රුපියල් 20,000ක මුදලක් තම බැංකු ගිණුමට බැරකර තිබූ බවත් සැකකරු පොලීසිය හමුවේ පාපෝච්ඡාරණය කර තිබේ.
