ෂෝන් විලියම්ස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා
November 5, 2025 02:54 pm
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමෙන් බිහි වූ විශිෂ්ට තුන්ඉරියව් ක්‍රීඩකයෙකු මෙන්ම අවස්ථා කිහිපයකදීම සිය කණ්ඩායම දින වූ නායකයෙකු ද වූ ෂෝන් විලියම්ස් දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බව වාර්තා වේ.
ඒ හේතුවෙන් සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය විසින් ඔහුව ජාතික තේරීම සඳහා තෝරා නොගැනීමට තීරණය කර ඇති අතර, ඔහුගේ මධ්‍යම කොන්ත්‍රාත්තුව ද 2025 වසරෙන් පසු අලුත් නොකිරීමට තීරණය කර ඇත.
මේ වනවිට 39 හැවිරිදි විලියම්ස්, වසර 20කට (2005 සිට) වැඩි කාලයක් පුරා සිම්බාබ්වේ නියෝජනය කරමින් සියලුම ආකෘතිවලින් ක්‍රීඩාකර තිබේ.
ඉන් ටෙස්ට් ඉනිම් 47කදී ලකුණු 1,946 හා කඩුලු 26ක්ද, එක්දින ඉනිම් 159කදී ලකුණු 5,217 හා කඩුලු 86ක්ද, විස්සයි20 ඉනිම් 84දී ලකුණු 1,805ක් හා කඩුලු 49ක්ද ලෙස තුන්ඉරියව්වෙන්ම දස්කම් දක්වා ඇත.
එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අප්‍රිකානු සුදුසුකම් ලැබීමේ තරගාවලියට පෙර දිනයේ දී ඔහු පෞද්ගලික හේතුවක් යැයි පවසමින් සිම්බාබ්වේ සංචිතයෙන් ඉවත්ව තිබේ.
කෙසේ නමුත් ඔහුගේ ඉවත්වීම ගැන සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයට සැකයක් මතුව ඇති අතර, ඒ හේතුවෙන් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඇත.
එහිදී අනාවරණය වී ඇත්තේ විලියම්ස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවත්, ඔහු ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය වන බවත්ය.
ඒ අනුව ගිවිසුම්ගත ක්‍රීඩකයින්ගේ වෘත්තීයභාවය, විනය සහ නීතීරීතිවලට අනුකූල වීම සැලකිල්ලට ගෙන ඔහුව තේරීම්වලින් නොසලකා හැරීමට තීරණය කර ඇත.
කෙසේ නමුත් ඔහු ස්වෙච්ඡාවෙන්ම පුනරුත්ථාපනය වීමට ගත් තීරණය සම්බන්ධයෙන් සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය ඔහුට ප්‍රශංසා කර තිබේ.
