මත්ද්‍රව්‍ය සමග දකුණු මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
November 3, 2025 05:08 pm
දකුණු මුහුදු තීරයේදී බහුදන ධීවර යාත්‍රාවකින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 251.18ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 85ක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකරුවන් 06 දෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ ලබන 08 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (03) අවසර ලබා දුන්නේය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවට පමුණුවනු ලැබීය.
එහිදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් දකුණු මුහුදු තිරයේදී "සීදේවි" නමැති බහුදින ධීවර යාත්‍රාවෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගෙන දික්ඕවිට වරායට රැගෙන ආ බව සඳහන් කළේය.
ඉන් අනතුරුව මත්ද්‍රව්‍ය ආනයනය කිරීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ සැකකරුවන් හයදෙනා අත්අඩංගුවට ගත් බවත් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු මෙතෙක් අවසන් කර නොමැති බැවින් මෙම සැකකරුවන් ලබන 08 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙන ලෙස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අදාළ සැකකරුවන් පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නේය.
ඉන් අනතුරුව විමර්ශනවල ප්‍රගතිය ලබන 08 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙහේස්ත්‍රාත්වරයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට නියම කළේය.
					