පිරමීඩ යෝජනා ක්‍රමයක් පවත්වාගෙන ගිය සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

පිරමීඩ යෝජනා ක්‍රමයක් පවත්වාගෙන ගිය සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

October 29, 2025   05:14 pm

පිරමීඩාකාර යෝජනා ක්‍රමයක් පවත්වාගෙන යාම ඇතුළු චෝදනා කිහිපයකට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් හත්දෙනා නොවැම්බර් 4වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය.

මෙම සැකකරුවන් අද (29) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළේය.

පිරමීඩාකාර යෝජනා ක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම යන චෝදනා ඔවුන්ට එල්ල වී ඇත.

පොලිස්පතිවරයා වෙත ලැබී තිබූ තොරතුරකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සිදු කරන ලද විමර්ශනයකින් පසු මෙම පිරිස පසුගිය 23වනදා අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන සිටින්නේ වයස අවුරුදු 40ත් 64ත් අතර වයස්වල පසුවන රත්මලාන, පන්නිපිටිය, ගල්නෑව, හෝකන්දර, පේරාදෙනිය හා කොළඹ 04 ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්ය.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.