ගුවන්තොටුපොළේ ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්
October 23, 2025 05:52 pm
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් වූ ඉහළ පෙළේ සමාලෝචන සාකච්ඡාවක් අද (23) පැවැත්විණි.
ඒ වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතාගේ සහ ආරක්ෂක ලේකම් එයාර්වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තගේ ප්‍රධානත්වයෙනි.
ජාත්‍යන්තරයට ශ්‍රී ලංකාව විවෘත කරන ප්‍රධාන ගුවන් දොරටුව වන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සමස්ථ ආරක්ෂාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබේ.
එහිදී අදහස් දැක් වූ ආරක්‍ෂක ලේකම්වරයා, ජාතික ආරක්ෂාව, ආර්ථික වර්ධනය සහ ජාත්‍යන්තර සම්බන්ධතාවලදී ගුවන්තොටුපොළෙහි ඇති තීරණාත්මක කාර්යභාරය සඳහන් කරමින්, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඉහළම ආරක්ෂක විධිවිධාන පවත්වා ගෙන යාමේ වැදගත්කම ද අවධාරණය කළේය.
මගීන්ගේ මෙන්ම ගුවන් කාර්ය මණ්ඩලවල, ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලයේ සහ ගුවන්තොටුපොළ මෙහෙයුම් සමඟ සම්බන්ධ අනෙකුත් සියලුම පුද්ගලයින්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීමේ වැදගත්කම ද එහිදී ඔහු අවධාරණය කර තිබේ.
එමෙන්ම ගුවන්තොටුපොළේ කටයුතු පවත්වා ගෙන යාම සඳහා සියලුම පාර්ශවකරුවන්ගේ කැපවීම එහිදී ඔහු අගය කළ අතර, ගුවන්තොටුපොළේ ඉහළම ආරක්ෂණ සහ ආරක්ෂක ප්‍රමිතීන් පවත්වා ගෙන යාම සඳහා අඛණ්ඩ සම්බන්ධීකරණයේ වැදගත්කම ද අවධාරණය කළේය.
නීතිවිරෝධී ක්‍රියා මැඩපැවැත්වීම, ආයතන අතර සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම සහ සිදුවිය හැකි තර්ජන සඳහා දැනට පවතින ප්‍රතිචාර යාන්ත්‍රණ වැඩි දියුණු කිරීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු ව ඇත.
මෙම අවස්ථාවට සහභාගී වූ නිලධාරින්, ඔවුන්ට අදාළ ක්ෂේත්‍රවල මුහුණ දෙන අභියෝග පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු කර ගෙන ඇති අතර පවත්නා ක්‍රියා පටිපාටියේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා ප්‍රායෝගික විසඳුම් ද ඉදිරිපත් කර තිබේ.
සියලු ආයතනවල සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරමින්, ගුවන්තොටුපොළේ ආරක්ෂක කළමනාකරණය වඩාත් කාර්යක්ෂම හා ඒකාබද්ධ ප්‍රවේශයක් ඔස්සේ පවත්වා ගෙන යාම සඳහා විශේෂිත ඒකාබද්ධ යාන්ත්‍රණයක් සැකසීමට ද මෙම හමුවේදී ඒකමතිකව එකඟතාවය ද පළ වී ඇත.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ සෙසු ඉහළ නිලධාරීන්, ගුවන්තොටු පොළේ දැනට ක්‍රියාත්මක ආරක්ෂක විධිවිධාන පිළිබඳව සොයා බැලීම සඳහා එම පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.