පාසල් අතර අසමානතාව අවම කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික අරමුණක් - අගමැති
October 7, 2025 11:52 am
පාසල් අතර අසමානතාව අවමකර, දරුවන්ට ලැබීය යුතු අධ්‍යාපන අත්දැකීම්වල ගුණාත්මකභාවය ඉහළ දැමීම මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික අරමුණ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
පාසල් අතර අසමානතාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පාසල් පද්ධතිය තුළ දශක ගණනාවක් තිස්සේ මුහුණ දීමට සිදුව ඇති විවිධ ගැටලු නිර්මාණය වී ඇති අතර බරපතල ගැටලු රාශියකට මූලික වී ඇති බවද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයක දී අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.
තරගකාරී අධ්‍යාපන රටාව තුළ පාසල් දරුවන්ගේ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ ඔවුන් මුහුණ දෙන පීඩනය, ගුරුවරුන් මුහුණ දෙන පීඩනය, විදුහල්පතිවරුන් මුහුණ පාන ගැටලු මේ සියල්ලටම මුලික වී ඇත්තේ පාසල් අතර ඇති අසමානතාවය බවත්, එය මගහැරීම සඳහා වර්තමාන රජය විශාල උත්සාහයක් දරණ බවත් ඇය වැඩිදුරටත් පැවසීය.
මෙම අසමානතාවය අවම කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික අරමුණක් බවත් ‘දරුවන්ට ලැබිය යුතු අධ්‍යාපන අත්දැකීම් ගුණාත්මක ලෙස ලබා දීමේ අරමුණින්, පාසල් වල නමට වඩා ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලියේ ගුණාත්මකභාවය උසස් තත්වයට පත් කිරීම ප්‍රමුඛත්වයයි’යන වගත් අග්‍රාමාත්‍යවරිය එහිදී පැවසීය.
අධ්‍යාපන ක්‍රියාවලියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ දී විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ සෘජු සහභාගීත්වය, නායකත්වය, ආදර්ශය හා දායකත්වය මූලික වශයෙන් අවශ්‍ය බව ඇය එහිදී අවධාරණය කළාය.
අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් විෂය නිර්දේශය වෙනස් කිරීම පමණක් නොව මානව සම්පත දියුණු කිරීම, පරිපාලනමය දියුණුව, යටිතල පහසුකම් සමානව බෙදා දීම, සහ අධ්‍යාපන ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම යන අංශ වලට විශේෂ අවධානය යොමු කර ඇති බවය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සැලසුම් සහගතව සහ ක්‍රමානුකූලව සිදු කරන බවත්, පද්ධතියේ දුර්වලකම හඳුනාගෙන ඒවාට පිළිතුරු සොයා යාවත්කාලීන කිරීම් සිදු කරන බවත් අපි දැක්මෙන් හා ඉලක්කයෙන් යුතුව වසර තුනකින් මූලික පදනම ගොඩනැගීමට කටයුතු කරමින් පසුව ඵලදායී විධිමත් පරිපාලනමය ප්‍රතිසංස්කරණ, යටිතල සහ ඩිජිටල් නවීකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂාවෙන් සිටින බවද අග්‍රාමාත්‍යවරිය විසින් ප්‍රකාශ කරන ලදි.
දරුවන්ගේ අත්දැකීම් ගුණාත්මක කිරීම සඳහා පන්ති කාමර පහසුකම් වැඩි කිරීම, සහ දරුවන්ගේ සංඛ්‍යාව සීමා කිරීමේදී විශේෂ කටයුතු සිදු කර තිබේ. ප්‍රාථමික පන්තිවල දරුවන් 40 දක්වාත් සහ ද්විතියික පන්තිවල 45 දක්වා සීමා කර ඇති බවත් අමාත්‍යතුමිය පෙන්වා දෙයි.
අමාත්‍යතුමිය සඳහන් කරන්නේ ‘අධ්‍යාපන පද්ධතිය විභාගවලට ලියාපදිංචි කරන ආයතනයක් පමණක් නොවී දරුවන්ගේ අත්දැකීම් හා ගුණාත්මක ඉගෙනුම් ලබා දෙන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට, තමන් දැඩි උත්සාහයක් ගන්නා බවයි.
මෙම පරිවර්තනයේ දී දෙමාපියන් ගේ සහ පුරවැසියන්ගේ සෘජු සහභාගීත්වය අත්‍යවශ්‍ය බවත්, අභියෝග ඇති වුවද එය ජාතියක් වශයෙන් එකමුතු වී ඉදිරියට ගෙන යා යුතු ගමනක් බවත් අවධාරණය කෙරේ.