කමිටු අනුමැතිය ලැබුණොත් පැය 24 න් ප්‍රතිඵල

December 20, 2011   03:55 pm

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ "ඉසෙඩ් ස්කෝර්" ගණනය කිරීමේ සමීකරණයේ යෝග්‍යතාව සොයාබැලීම සඳහා විද්වත් කමිටුවක් වෙත හෙට(21) භාරකරන බව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා පවසයි.

එක් එක් විෂයන් අනුව, විෂය ධාරාවන් අනුව සහ එම අගයන් 02 එක්කර පොදු අගයක් ලෙස "ඉසෙඩ් ස්කෝර්" අගයන් තුනක් ගණනය කර ඇති බවත්, එම අදාළ අගයන් මෙසේ විද්වත් කමිටුව වෙත භාරදෙන බවත් අනුර එදිරිසිංහ මහතා සඳහන් කරයි.

ඒ සඳහා විද්වත් කමිටුවේ අනුමැතිය පිළිබඳව එම කමිටුව මගින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත දැනුම් දෙන බවත්, පසුව කොමිෂන් සභාව මගින් ඒ සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව වෙත දැනුම් දෙන බවත් විභාග කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය.

කොමිෂන් සභාව වෙතින් අදාළ අනුමැතිය ලැබී පැය 24 ට පසු උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කරන බව ඔහු සඳහන් ‍කළේය.

කොළඹදී අද(20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අනුර එදිරිසිංහ මහතා මේ බව කියා සිටියේය.

මෙම සතිය ඇතුළත උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට බොහෝ දුරට හැකිවනු ඇති බව ඔහු එහිදී විශ්වාසය පළ කළේය.