ලෝක කුසලානයෙන් පසු ක්‍රීඩකයින්ට වැටුප් ගෙවා නෑ

October 27, 2011   10:53 am

මාස කිහිපයක කාලයක සිට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් වෙත වැටුප් ගෙවීම සිදුකර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය සත්කාරකත්වය සැපයූ මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් පසු ගිවිසුම් පදනම මත ක්‍රීඩාකරන ක්‍රීඩකයින් 100 දෙනෙකුට පමණ මෙසේ වැටුප් ගෙවා නොමැති බව බීබීසී සේවය වාර්තා කරයි.

ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් දැරීමට සිදුවූ පිරිවැය නිසා මෙරට ධනවත්ම ක්‍රීඩා ආයතනයට ණය බර දැරීමට සිදුව ඇති බව එම සේවය සඳහන් කරයි.

මාධ්‍ය මගින් පළකළ අදාළ පුවතෙහි සත්‍යතාවයක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස මහතා බීබීසී සේවය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් තවත් අමෙරිකානු ඩොලර් මිලියන 4 -5 ත් අතර මුදලක් මෙරටට ගෙවිය යුතුව ඇති බව ඔහු සඳහන් කර ඇත.

එම ඉදිරි මුදල් ප්‍රමාණය ලැබුණු පසු හැකි ඉක්මනින් අදාළ ගෙවීම් සිදුකිරීමට කටයුතු කරන බව ධර්මදාස මහතා ප්‍රකාශ කළ බව බීබීසී සේවය වැඩිදුරටත් පවසයි.