කොරෝනා සුව කරන බවට අලෙවි කරන ඖෂධවලට වෛරසය සුව කරන්න බෑ-ආයුර්වේද වෛද්‍ය ඩැනිස්ටර්

කොරෝනා සුව කරන බවට අලෙවි කරන ඖෂධවලට වෛරසය සුව කරන්න බෑ-ආයුර්වේද වෛද්‍ය ඩැනිස්ටර්

February 5, 2020   02:30 pm

කොරෝනා වෛරසය සුවකරන බවට ප්‍රචාරය කරමින් වෙළඳපොලේ අළෙවි කිරීමට ඇති ඖෂධ වර්ග තුළින් කොරෝනා වෛරසය සුවකළ නොහැකි බව ආයුර්වේද වෛද්‍ය ඩැනිස්ටර් එල්.පෙරේරා මහතා පවසයි.

ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද(05) කැඳවු මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, වෛරසයේ ලක්ෂණ බොහෝ දුරට මීට පෙර වාර්තා වු කොරෝනා වෛරස් වර්ග දෙකක් වු සාස් හා මර්ස් යන වෛරසයන්ට සමාන බවයි.

බටහිර වෛද්‍ය විද්‍යාවට වෛරස සෑමදාකම අභියෝගයක් වු බවත් පැවසු ඒ වෛද්‍යවරයා, ප්‍රතිජීවකවලින් වෛරසයට විසඳුමක් නොමැති බවත් පැවසීය.

මේ සම්බන්ධයෙන් නොයෙක් ප්‍රතිකාර හා ඖෂධ ඇති බව පැවසුවත් විශ්වාසයෙන් පැවසිය හැකි ප්‍රතිකාර පද්ධතියක් තවමත් සොයා ගෙන නැතැයි ද කියා සිටි වෛද්‍යවරයා, එනිසා කිසිවෙකුට හෝ තමාගේ ප්‍රතිකාර හේතුවෙන් කොරෝනා අසාදිතයින් සුව කරන බවට පැවසිය නොහැකි බවත් කියා සිටියේය.

වෙළෙඳ ප්‍රචාරණ හේතුවේ එවැනි දේ සිදු කරනු ලැබුවත් ආයුර්වේදය යන වෛද්‍ය රෝගයක් සම්බන්ධයෙන් කටයුතු කරන ක්‍රමවේදයක් ඇතැයි ද පැවසු වෛද්‍යවරයා එම ක්‍රමවේදයෙන් බැහැරව නව නිෂ්පාදනයක් එළිදැක්වීමට තවමත් වාතාවරණයක් නොමැති බවත් පැවසීය.

ඒ සඳහා විශාල පර්යේෂණ සිදු කල යුතු බවත් ඒ නිසාවෙන් ප්‍රතිකාර පිළිබඳ කථා නොකර නිවාරණය පිළිබඳ කථා කළ යුතු බවත් වෛද්‍යවරයා මෙහිදී කියා සිටියේය.